මර්වින් සිල්වා ඉන්නේ පැදුරක – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී.බී. දිසානායක පැවසීය.

මහර බන්ධනාගාර රෝහලේ පරිශ්‍රයේ තිබෙන නවක රැඳවියන් රඳවා සිටින වාට්ටුවක ම ඔහුව රඳවා සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා ඇතුළු තවත් රැඳවියන් 150ක් එම වාට්ටුවේ සිටින බව ත් ඔහුට කිසිදු විශේෂ පහසුකමක් ලබා දී නොමැති බව ත් ය.

“ඔහු බන්ධනාගාරගත කරපු දවසේ ඉඳන් ඉන්නේ බන්ධනාගාර රෝහලේ තමා. රෝහලේ කියන්නේ ලෙඩ්ඩුන් ඉන්න තැනක නෙමෙයි. රෝහල් පරිශ්‍රයේ තියෙනවා නවක සිරකරුවන් රඳවන්න ස්ථානයක්. නවක සිරකරුවන් සතියක් දෙකක් එතන රඳවනවා. ඒ වාට්ටුවක තමා ඔහු රඳවා ඉන්නේ. එතකොට රෝහලේ නෙමෙයි. රෝහල් පරිශ්‍රයේ. දැන් ඔහු රඳවා ඉන්න වාට්ටුවෙත් රැඳවියන් 150ක් ඉන්නවා. එතකොට එයා නිදා ගන්නෙත් පැදුරක තමා. ඔහුට කිසිදු අමතර පහසුකමක් දීලා නෑ. නවක රැඳවියෙක් විදිහට එයාට නියමිත නවක සිරකරුවන් රඳවන ස්ථානයේ තමා ඔහු සිටින්නේ”

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සකස් කළේ යැයි මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මාර්තු 06 මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.

එහිදී මෙම සැකකරුවන් තිදෙනෙකු මාර්තු 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *