වගා ව්‍යාපෘතිවලට මුවා වී දේශපාලකයින්ට,ගෝලයින්ට ඉඩම් සල්ලි පුදලා – ඉඩම් අක්කර ගණන් දීලා

දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන්  රැසක් විවිධ වගා  ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී  රුපියල් කෝටි ගණනින්  මුදල්  සහ රජයේ  ඉඩම්  ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව  පරිහරණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය  සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී   පැවසීය.

ඒ සම්බන්ධයෙන්  විමර්ශනයක්  පවත්වන බවද ඔහු කීවේය.    

හිටපු අමාත්‍යවරයකු වන සාලින්ද දිසානායක මහතා කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 76ක් ඔහු  පෞද්ගලිකව පිහිටුවා ගත් සමාගමකට  පවරාගෙන තිබෙනවා.

හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ හිතවතෙකුට කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 21 නිසරු ඉඩම් බව පවසා ලබාදී ඇති බවත් ඊට අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ මහතාගේ බිරිඳ අනෝමා ගමගේ මහත්මිය කෘෂි ව්‍යාපෘතියකට යැයි පවසමින් ලක්ෂ එකසිය හතළිහක් ලබාගෙන ඇතත්  කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැතැයිද  අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

හිටපු නාවික හමුදාපති වසන්ත වසන්ත කරන්නාගොඩ මහතාට වගා ව්‍යාපෘතියක් කිරීමට රුපියල් ලක්ෂ එකසිය අසූවක් ලබා දී ඇති බව පැවසූ සමන්ත විද්‍යාරත්න මහතා වගා  ව්‍යාපෘතියක්  සදහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන බන්දුල වික්‍රමාරච්චි මහතාගේ පුත්‍රයාගේ නමට ලක්ෂ අසූ දෙකක් ලබාදී  ඇති බවද   කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *