රිළවුන් සහ වඳුරන් ගහනය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ නිවාස සහ පූජා භූමිවලදී එම සතුන්ට ආහාර ලබාදීම නිසා බැවින්, එලෙස ආහාර ලබාදෙන පුද්ගලයන්ට දඩයක් හෝ දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ යෝජනාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා සහ පරිසර විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් කෘෂිකර්ම ඇමැතිවරයාට ඉදිරිපත් කරනු ලැබීය.
මෙරට රිළා ගැටලුව විශාල වශයෙන් පවතින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ බවත්,එම දිස්ත්‍රික්කයේ පූජා භූමි වැඩි සංඛ්‍යාවක් පවතින බැවින් එම ස්ථානවලට පැමිණෙන වන්දනාකරුවන් රිළවුන්ට ආහාර ලබාදෙන බවත්, අනුරාධපුර, පොලොන්නරුව, දඹුල්ල ආදී පූජා භූමි ආශ්‍රිතවද රිළා ගහනය ඉහළ මට්ටමක පවතින බවත් මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පැවැසීය. රිළවුන්, මිනිසුන් පාරිභෝජනය කරන ආහාරවලට පුරුදු කළ පසුව, එම සතුන් මිනිසුන්ගේ ආහාර අත්‍යවශ්‍ය තත්ත්වයට පත්වන බවත්, අනතුරුව ගෙවල්වලට කඩා පනින බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ නිවාසවලට රිළවුන් කඩා පැනීම ඉහළ ගොස් තිබෙන බවත් ඔහු කීවේය.
රිළවුන්ට වැඩිපුර ආහාර ලැබෙද්දී බිහිකරන පැටවුන් සංඛ්‍යාව ද වැඩිවන බවත්,ඊට හේතුව සිරුරේ ප්‍රෝටීන්, මේද තත්ත්වය ඉහළ යාම බවත්, රිළවුන්ගේ ගහනය පාලනය කරන ප්‍රධාන ක්‍රමවේදය ආහාර සහ විලෝපිකයන් බවත් මහාචාර්යවරයා කියන්නේය. මෙම සතුන්ට අස්වාභාවික ලෙස ආහාර ලබාදීම නතර කිරීම මගින් ගහනය අඩුවන බව ද ඔහු පැවසීය. පූජා භූමිවලදී රිළවුන්ට දානය ලෙස ආහාර ලබාදීම ගැටලුකාරී තත්ත්වයක් බව ද ඔහු කීවේය.
නිවාසවලදී සතුන්ට ආහාර ලබාදීම තහනම් වියයුතු බවත්, නගර සභා, ප්‍රාදේශීය සභා කසළ බැහැර කරන ස්ථානවලද වඳුරන් සහ රිළවුන් ඉහළ ගහනයක් සිටින බවත්, එම ස්ථානවලට මෙම සතුන්ට පැමිණීම වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කළයුතු බවත් මහාචාර්යවරයා පැවැසීය.
කෘෂි භෝගවලට හානි පමුණුවන සතුන් සම්බන්ධව කරන ලද සංගණනයේදී රිළා ගැටලුව වැඩි වශයෙන්ම පවතින ප්‍රදේශ හඳුනාගෙන, එම ස්ථාන ආශ්‍රිතව සතුන්ට ආහාර ලබාදීම වැළැක්විය යුතු බවද ඔහු කීවේය. මහාචාර්ය ඩිටෙස්ට් පසුගිය වසර 50ක කාලය තුළ සිදුකරන ලද පර්යේෂණ තුළින් අනාවරණය වන්නේ විල්පත්තුව ආදී වනාන්තර ප්‍රදේශවලදී රිළවුන්ගේ ගහනය වර්ග කිලෝමීටරයකට 0.2 ක් පමණ වූවත්,දඹුල්ල ආදී පූජා භූමි ආශ්‍රිතව රිළා ගහනය වර්ග කිලෝමීටරයකට 6 ත් 8 ත් අතර සංඛ්‍යාවක් දක්වා සියයට 1200 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද මහාචාර්යවරයා පැවැසීය. සිය හැදියාව තුළින්ම වන සතුන් පාලනය කිරීමට මිනිසාට හැකි බවත්,සතුන්ට ආහාර ලබාදීම වැළැක්වීම මුලින්ම සිදුකළ යුතු බවත් ඔහු පැවැසුවේය.