කෑම හදන, විකුණන, බෙදන සැමටම උණසන්නිපාත එන්නත

හෝටල්, ආපනශාලා, ජංගම වෙළෙඳ කුටි, ආහාර නිෂ්පාදන, ආහාර ගබඩා, ආහාර ප්‍රදර්ශන, ආහාර ප්‍රවාහනය කෙරෙන වාහන ඇතුළු ආහාර ආශ්‍රිත සියලුම ආයතන පරීක්ෂා කිරීමට සහ වැටලීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය කියයි.

රටපුරා ආහාර හා සම්බන්ධ සියලුම ආයතනවල සේවකයන් වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන මෙම වෛද්‍ය පරීක්ෂණයේදී සියලුම සේවකයන් අනිවාර්යයෙන්ම උණසන්නිපාතය වැළැක්වීමේ ඒන්නත ලබාගැනීමට කටයුතු කළ යුතුය.

ලබන 25 දින සිට රටපුරාම වැටලීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහස් පන්සියයක් වැටලීම් සඳහා යොදවන බවත් පැවැසූ ලේකම්වරයා ඒහිදී උණසන්නිපාතය වැළැක්වීමේ ඒන්නත ලබාගෙන තිබේ ද යන්න සොයා බලන බවත් පැවැසීය.

හිමිකරුවන්/ප්‍රධානීන් තම ආයතනවල සේවකයන් සියලුම දෙනා වෛද්‍ය පරීක්ෂණයට සහ උණසන්නිපාත වැළැක්වීමේ එන්නත ලබාගැනීමට යොමු කිරීමට පියවර ගතයුතු බව සඳහන් කළ ලේකම්වරයා සෞඛ්‍ය හා සනීපාරක්ෂාව කෙරෙහි දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද අවධාරණය කළේය.

මේ අතර ලබන 25 දා සිට රටපුරා ප්‍රධාන නගර, උප නගර සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය කෙරෙන ලෙස වැටලීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බවද චමිල් මුතුකුඩ මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *