රථ වාහන දඩ ගෙවීම් GOVPAY හරහා ළගදීම ඔන්ලයින් ඔස්සේ

ශ්‍රී ලංකා රජයේ සම්බන්ධිත සේවාවන් සඳහා වන නිල ඔන්ලයින් ගෙවීම් වේදිකාව වන Govpay හරහා ඉතා ඉක්මනින් රථවාහන දඩ මුදල් ගෙවීමට ජනතාවට හැකි වන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ (ICTA) ඉහළ නිලධාරියෙකු පවසයි.

ICTA මණ්ඩල සාමාජිකයෙකු, ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු හර්ෂ පුරසිංහ මහතා පැවසුවේ, මෙම සේවාව සක්‍රිය කිරීම සඳහා ICTA කටයුතු කරමින් සිටින බවයි. එය මෝටර් රථ රියදුරන්ට සැලකිය යුතු සහනයක් ලබා දෙනු ඇති බව ද ඔහු කියා සිටී..

“ඉතා ඉක්මනින් රථවාහන දඩ මුදල් ද වේදිකාව හරහා ගෙවීමට හැකි වේවි. අපි ඒ සඳහා වැඩ කරමින් ඉන්නවා,” ඔහු කොළඹ පැවති සමුළුවකදී පැවසීය.

ICTA විසින් මූලික කටයුතු අවසන් කර ඇති බවත්, ඉතා ඉක්මනින් විධිමත් අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ මූලාශ්‍ර තහවුරු කළේය.
ශ්‍රී ලංකා රජය විසින් Govpay ඩිජිටල් ගෙවීම් වේදිකාව දියත් කරන ලද්දේ බදු, දඩ මුදල්, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ වෙනත් ගාස්තු ඇතුළු විවිධ රජයේ සම්බන්ධිත සේවාවන් සඳහා ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සැපයීමටයි. මෙම වේදිකාව රජයේ කාර්යාලවල පෞද්ගලිකව ගෙවීම් කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරමින් ගනුදෙනු සරල කිරීම සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *