තව මාස දෙකකින් සිපෙට්කෝ තෙල් බංග්ලාදේශයට – ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති කියයි

එළැඹෙන මාස දෙක තුළ ලිහිසි තෙල් අපනයනය කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ රාජකරුණා මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් පොදුසේවක සංගමයේ උත්සවයක් අමතමින්.

මේ සඳහා මේ වන විටත් බංග්ලාදේශයෙන් ඇණවුම් ඉදිරිපත් වී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.

“මේ වෙනකොට අපේ ලිහිසි තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණේ. කියන්න සතුටුයි මේ වෙද්දි දෙගුණයකින් අපිට මේ කාලය තුළ වැඩි කරගන්න පුළුවන් වුණා. කියන්න සතුටුයි තව මාස දෙකක් උපරිම යයි. ඒ කාලය තුළ සිපෙට්කෝ තෙල් අපි පිටරට යවනවා. බංග්ලාදේශයෙන් ඕඩර් එකක් ආවා. ගුවන් තෙල් එක නිකන්ම තිබුණේ. අපි ගුවන් සමාගම් එක්ක අපි කතා කළා. මේ කලාපයේ ගාණට වඩා අඩු කළා. ගිය අවුරුද්දට වඩා ශීඝ්‍රයෙන් අපේ ගුවන් තෙල් වෙළෙඳාම දැන් වැඩිවෙමින් පවතිනවා.”

සේවකයින්ගේ අවුරුදු ප්‍රසාද දීමනාව සම්බන්ධයෙන් ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මෙහිදී පැහැදිලි කිරීමක් සිදුකළා.

“දැන් බෝනස් එක දෙනවා නැද්ද කියන එක ගැටලුවක් තියෙනවා. මට බෝනස් එක නවත්තගෙන ඉන්න කිසිම උවමනාවක් නෑ. නමුත් නීති තියෙනවා, ගහපු චක්‍රලේඛ තියෙනවා ඒකට අනුව ඕන ක්‍රියාකරන්න. ඒකට අනුව මම දැන් මේක දෙන්නේ කොහොමද කියලා බැලුවා. අපිට භාණ්ඩාගාරයෙන් අනුමැතිය ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒක කැබිනට් එකට යන්න ඕනේ. ඔන්න ඔය ක්‍රියාවලිය කරගෙන යන්න ඕන දේවල් අපි කරගෙන යනවා. මේ මාසයේ ඇතුළත ඒ ටික කරගන්න බෑ. අනිවාර්යයෙන්ම බෝනස් එක නවත්වන්නේ නෑ. ඒක ගන්න අර ටික කරන්න ඕනේ. මේ මාසයේ බෝනස් එක දෙන්න විදියක් නෑ. ඒ නිසා තමයි මම රු 50,000 අවුරුදු සල්ලි විදියට වැඩි කරලා දෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *