චාමරට මෙට්ටයක් දෙන්න වෛද්‍යවරු නිර්දේශ කරයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට මෙට්ටයක් ලබා දීම යෝග්‍ය බවට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.

පසුගියදා මන්ත්‍රීවරයා එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රැඳවීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකු විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පරික්‍ෂා කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවුනද ඔහු බන්ධනාගාර රෝහලට මාරු කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බවට අදාළ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් ඔහුට පවතින අසනීප තත්ත්වය හේතුවෙන් මෙට්ටයක් ලබා දිය යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඉකුත් දා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව වෙනත් රැඳවියන්ට ලබාදෙන පහසුකම් එලෙසම මන්ත්‍රීවරයාටද ලබා දුන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අනුව කොට්ටයක්, පැදුරක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ලබා දී තිබෙනවා.

එමෙන්ම තමන්ට පිටතින් රැගෙන එන ආහාරපාන ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පසුගියදා ඉල්ලීමක්ද කළ බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *