ජනාධිපති අරමුදලට විද්ද අය ගැන පියවර ගන්න CID විමර්ශන අරඹයි

ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයන් පිළිබඳ විමර්ශන කඩිනම් කිරීමට රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල පැවැසීය.

නිකවැරටිය ප්‍රදේශයේ පැවැති වැඩසටහනක් අතරතුරදී මාධ්‍යවේදියකු විමසා සිටි පැනයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා මෙසේද කීය.

“ජනාධිපති අරමුදලේ අරමුණුවලට පටහැනිව පසුගිය සමයේ මුදල් ප්‍රදානයන් විශාල ප්‍රමාණයක් සිදුකර ඇතිබව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව අපි මේ රටේ ජනතාවට පොරොන්දු වුණා. විශේෂයෙන්ම දුප්පත් ජනතාවගේ රෝගී අවස්ථාවල දී ප්‍රතිකාර ලබාගැනීමට මෙම අරමුදල පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් ලෙස මේ අරමුදලේ මුදල් පාවිච්චි කරන්න පුළුවන්. එවැනි අරමුණු පසෙක දමලා රටේ පැවැති ඉහළ දේශපාලන අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 200- 300 වශයෙන් මුදල් මෙම අරමුදලින් ලබාගත් බව අනාවරණය වී තිබෙනවා. අපි මේ කාරණා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරල තියෙනවා. එම පරීක්ෂණ මේ වනවිට ආරම්භ කරලා දැනටමත් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර තිබෙනවා. බැලූ බැල්මටම මෙම මුදල් ලබාගැනීම නීති විරෝධියි කියල තමයි අපට පෙනෙන්නේ. නමුත් විධිමත් විමර්ශනයක් කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්‍තුවට භාරදීල මේ වනවිට ඒ කටයුතු කඩිනම් කරන්න කියලා උපදෙස් ලබාදීල තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *