අලි කරදර නිසා පීඩාවට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ජනාධිපති අරමුදලෙන් ආධාර – ජනපති තීරණය කරයි

වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත.

වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ සහ තුවාල ලැබූ පුද්ගලයකු අයත් පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වේ. වන අලි ගම් වැදීම හේතුවෙන් දේපළ සහ වගා හානි වූ පවුලක දරුවන්ට ද මීට අයදුම් කළ හැකිය. ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිරීක්ෂණය අනුව ආධාරයක් ලැබීමට සුදුසු පවුල් ඒකකයක් විය යුතු අතර 1 ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුලක් වීම මෙම මූල්‍යාධාරය ලබා ගැනීමට සුදුසුකමක් ලෙස සැලකේ.

2025-01-01 දින හෝ එම දිනෙන් පසු දිනකදී වන අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් ඒකකයක් විය යුතු අතර දැනටමත් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර ඇති අ.පො.ස උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ප්‍රතිලාභී දරුවකු නොවීම ද මීට සුදුසුකමකි.

මෙම වැඩසටහන මගින් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවකු සඳහා මාසිකව රුපියල් 3,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවකු සඳහා රුපියල් 5,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහා ද ආදී වශයෙන් 2025 අප්‍රේල් 01 වැනි දා සිට මෙම මූල්‍යාධාරය ලබා දීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුසුකම් සපුරාලන පවුල්වල දරුවන්ගේ විස්තර ලබා ගෙන සිය පෞද්ගලික අධීක්ෂණය යටතේ, සිය නිර්දේශය ද සහිතව අදාළ අයදුම්පත් නොපමාව ජනාධිපති අරමුදලේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *