ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ආරක්ෂක, බලශක්ති සම්බන්ධතාව, ඩිජිටල්කරණය, සෞඛ්‍ය සහ බහු-ආංශික ප්‍රදාන ආධාර ලබාදීමට සම්බන්ධ අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා පැවසීය.
ඉන්දීය අගමැතිවරයා 6 වන බිම්ස්ටෙක් සමුළුව සඳහා සහභාගි වීමෙන් පසුව හෙට (04) සවස තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද ඉන්දීය විදේශ ලේකම්වරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රථම විදේශ සංචාරය සඳහා ඉන්දියාවට ගිය අතර එහිදී කළ ආරාධනයෙන් ඉන්දීය අගමැතිවරයා අප්‍රේල් 4 සිට 6 දක්වා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙයි. අනුර කුමාර දිසානායක මහතා ජනපති ලෙස පත්වීමෙන් පසුව ඔහු විසින් සත්කාරකත්වය දක්වනු ලබන පළමු විදේශීය නායකයා වන්නේ ද ඉන්දීය අගමැතිවරයාය.
අනිද්දා (අප්‍රේල් 5) කොළඹදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිල සාකච්ඡා පවත්වනු ලබන අතර ඉන්දියානු සහාය ඇතිව ශ්‍රී ලංකාවේ දියත් කරන ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් නායකයින් දෙදෙනා එක්ව සාකච්ඡා කරනු ඇති බව ද ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේය.
සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමට නායකයින් දෙදෙනා මාර්ගගතව සහභාගි වනු ඇත. මෙය බොහෝ ආකාරවලින් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් වනු ඇති බව සඳහන් කළ ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන නායකයින් හමුවීමට නියමිත බව ද කීවේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට ගෞරවයක් වශයෙන් නිල භෝජන සංග්‍රහයක් ද පවත්වනු ඇත.
අප්‍රේල් 6 වැනිදා නායකයින් දෙදෙනා අනුරාධපුර නගරයට ගමන් කරනු ඇත. ඔවුන් එහි දී ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට නියමිතය. අනුරාධපුර සංචාරය අතරතුර, නායකයින් දෙදෙනා අනුරාධපුරයේ දී ඉන්දියාවේ ආධාර ලබන ව්‍යාපෘති දෙකක් ද විවෘත කරන අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 6 දින සවස ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.