මන්නාරමේ කැට ලුණු පැකට් එකක් පෙන්වමින් අලිමංකඩ රජ ලුණු ආරම්භ කළේ තමන් බව විමල් වීරවංශ මහතා කියන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ පෙරේදා (02) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මාධ්‍යවල, සමාජ මාධ්‍යවල හිටපු කර්මාන්ත ඇමැති විමල් වීරවංශ අදහස් පළ කළා. විමල් ඉදිරිපත් කළ අදහස වෙන්නේ නව රජය අලුතින් දෙයක් කරනවා නෙවෙයි කලින් අය කළ දේම ප්‍රචාරය කරනවා කියන එකයි. ඒකට උදාහරණයට පෙන්නුවේ ඔහු විසින් තමයි මේ අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව ආරම්භ කරලා තියෙන්නේ කියන එකයි. ඔහු තමයි වාලච්චේනේ කඩදාසි කම්හල ආරම්භ කළේ කියලත් කියනවා.
දේශපාලන වශයෙන් අවලංගු වෙලා තියෙන, ජනතාවගෙන් අවලංගු වෙලා තියෙන, රෙදි ගැලවිලා තියෙන විමල් වීරවංශට නෙවෙයි මේ පැහැදිලි කිරීම කරන්නේ, මේ රටේ ජනතාවට. ජනතාව පත් කර ගත් මේ රජයේ කටයුතු පිළිබඳව සත්‍ය කරුණු ඉදිරිපත් කිරීම අපේ වගකීමක්. විමල් වීරවංශ කර්මාන්ත ඇමැති හැටියට අලිමංකඩට ගිහිල්ලා තියෙන්නේ 2020 ජනවාරි මාසේ. අපේ ලේඛන අනුව ඔහු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තියෙනවා. ඒ මේස ලුණු කර්මාන්තයට අදාළව නොවෙයි.
2020 ජනවාරි මස 22 වැනිදා කැබිනට් සංදේශය ඉදිරිපත් කර තියෙන්නේ කුරිංචතිව් අලිමංකඩ උතුර ලුණු ලේවාය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරී ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය කියලා. ඔබට අදත් ගිහින් බලන්න පුළුවන් කුරිංචතිව්වල එහෙම එකක් පටන්ගෙන නෑ. ඒකට අදාළ පාර්ශ්ව කිහිපයක් නඩු මඟට ගිහින් තියෙන නිසා ඒකෙ ටෙන්ඩර් කැඳවලා දෙන්න බැරි වෙලා තියෙනවා. ඔහු ලුණු පැකට් එකක් පෙන්නනවා. නමුත් ඒ අලිමංකඩ ලුණු පැකට් එකක් නොවෙයි. ඒ මන්නාරමේ ලුණු පැකට් එකක්. 2018 ඉඳලා මන්නාරම සෝල්ට් එකේ කැට ලුණු හදලා තියෙනවා. කැට ලුණු පැකට් එකක් පෙන්නනවා අලිමංකඩ හැදුවා කියලා. විමල් වීරවංශ අපට කලින් මේස ලුණු අලිමංකඩ හරි කොහේ හරි හැදුවා නම් වෙළෙඳපොළේ තියෙන්න ඕනේ. ඔබ කවුරු හරි මේ මේස ලුණු තියනවා දැක්කද කියලා අපි අහනවා. දිග පළලත් එක්කම එයා කළ දේවල් හොයන්න අපි පටන්ගෙන තියෙන්නේ. මෙතැන තියෙන්නේ පැහැදිලි ඉරිසියාවක්. දේශපාලන කුහකකමක්. එයාට කර ගන්න බැරිවූ දෙයක් අපි කළ නිසා සෑහෙන්න රිදිලා තියෙනවා. එයා අද දේශපාලන වශයෙන් අනාථයෙක් වෙලා තියෙද්දී අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති හැටියට ඉන්න එක ගැන තියෙන්නේ දේශපාලන ඉරිසියාවක්. ඒක මානසික ප්‍රශ්නයක්. මේ දේවල්වලින් පෙනෙන්නේ දේශපාලන අසරණකම. අපට ඒ වගේ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. මේ කරුණු පැහැදිලි කිරීම කරන්නේ එයා කියන බොරු සමාජගත වෙන වේගය වැඩි නිසා. මෙච්චර කල් අලිමංකඩින් කැට ලුණු අරගෙන වෙන පෞද්ගලික අංශයේ අය ලුණු හැදුවේ. අපි ආරම්භ කරන තෙක් අලිමංකඩ මේස ලුණු, කුඩු ලුණු හදලා නෑ. මේස ලුණු සඳහා අපි වෙනම කර්මාන්තශාලාවක් පටන් ගත්තා. රමේෂ් පතිරණ හිටපු ඇමැතිවරයාටත් ඒ ගෞරවය හිමි වෙනවා. අපට අනුන්ගේ දෙයක් ගන්න ඕනෙ නෑ. අනුන්ගේ කලිසමකට කකුල දාන්න ඕනැ නෑ. විමල් වීරවංශ වගේ පහත් වැඩ අපි කරන්නේ නෑ. අද වෙළෙඳපොළේ ලුණු ප්‍රශ්නයක් තියෙනවා. කැබිනට් මණ්ඩලය ලුණු ගේන්න තීරණය කර තියෙනවා. ලංකා ලුණු සමාගම සහ ජාතික ලුණු සමාගම තමයි ලුණු ගේන්නෙ. අනිත් කර්මාන්තවලට බෙදා දෙන්නෙත් අපි. දේශීය නිෂ්පාදකයන්ට සහ පාරිභෝගිකයන්ට හානියක් නොවන ආකාරයට අපි ලුණු දෙනවා.”