රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් කඩිනම් කිරීමට අයැදුම්පත් කැඳවයි

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් පටිපාටිවලට අනුකූලව අයැදුම්පත් කැඳවා එම බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

දේශපාලන බලපෑම්වලින් තොරව කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව රාජ්‍ය අංශය සඳහා බඳවා ගැනීම සිදු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බව රජය සඳහන් කළේ ය.

කොවිඩ් – 19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත් පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ.

එමෙන් ම, රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර, අත්‍යවශ්‍ය බඳවා ගැනීම සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කෙරිණි.

එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මතපදනම්ව මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් 18,853 ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, “2025 අයවැය මගින් යෝජිත රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල” යටතේ නියමිත බඳවා ගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.

One thought on “රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් කඩිනම් කිරීමට අයැදුම්පත් කැඳවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *