මහජනයාගේ මුදල් සතයක් සොරකම් නොකරන සහ නාස්ති නොකරන පාලනයක් අද ලංකාවේ පළමු වතාවට ගොඩනැගී තිබෙනවා යැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ගාල්ලේ පැවති ජයග්‍රාහී මැතිවරණ ජන රැළිය අමතමින් ජනපතිවරයා මේබව පැවසීය. එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවසීය.
පසුගිය සැප්තැම්බර් 21 දින අපේ රටේ එතෙක් තිබූ දේශපාලන ගමනමග වෙනස් කරමින් ජනතාව සුවිශේෂී දේශපාලන තීන්දුවක් ගනු ලැබුවා. එය පැරණි අසාර්ථක දේශපාලන කඳවුරු පරාජයට පත් කර පොදු ජනතාව අතට බලය මාරු කරන තීන්දුවක්. ඉන් පසුව එම ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදුන්නා. ඒ වගේම මැයි 06දා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. මෙම මැතිවරණය පැවැත්වීමට යෙදී තිබුණේ 2023 මාර්තු මාසයේදී. නමුත් පැවති රජය මෙම මැතිවරණය කල් දැමුවා. එදා මැතිවරණය කල් දමන විට අපි ජනතාවට ප්‍රකාශ කළා කුඩා ඡන්දය කල් දැමුවට ලොකුම ඡන්දයෙන් අපි ජයග්‍රහණය කරනවා කියලා. එය සත්‍යයක් කරමින් අපි මෙරට දේශපාලනය මුළුමනින්ම හැරවුමකට ලක් කළා. ඉන්පසුව මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා යම් කරුණු කිහිපයක් සම්පූර්ණ කිරීමට සිදුව තිබුණා. මීට පෙර ලබාගත් නාම යෝජනා පත්‍ර අවලංගු කිරීම, පසුව සම්මත කරගෙන තිබු තරුණ නියෝජනය ඇති කිරීමට පාර්ලිමේන්තුවේ අලුතින් පනතක් සම්මත කරගැනීම කළ යුතුව තිබුණා. මැතිවරණය ඉක්මණින් පැවැත්වීම සඳහා අපේ ආණ්ඩුවේ පළමු සංශෝධන පනත ලෙස පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කළා. ඉන්පසුව මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා. එම පනත සම්මත කළ දිනයේ සිට ගත් විට අප්‍රේල් 06, 07 වන විට මැතිවරණ පැවැත්වීමට හැකියාව තිබුණා. අපට අවශ්‍ය කර තිබුණේත් අලුත් අවුරුද්දට පෙර මැතිවරණය පැවැත්වීමටයි. නමුත් විපක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා මැතිවරණය කල් දාන්න කියලා. ඒ අනුව මැතිවරණය මැයි 06 දිනට කල් ගියා. නමුත් අප පනත සම්මත කර දුන් අන්දමට මැතිවරණ කොමිසම කටයුතු කළානම් අද වන විට පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන්. අපට අවශ්‍ය තවදුරටත් මැතිවරණ පවත්වමින් සිටීමට නොවෙයි, අපි විශාල මුදලක් දිස්ත්‍රික් මට්ටමින් ලබාදී තිබෙනවා. අපි දෙසැම්බර් 31 වන දිනට පෙර එම මුදල්වලින් වැඩ කළ යුතුයි. දැන් මැයි 06 දින දක්වා එම කටයුතු ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා. නමුත් විපක්ෂය මතක තබාගත යුතුයි මැතිවරණය කල් යාමත් සමඟ ඔවුන්ට දේශපාලන වශයෙන් අසීරු තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව.
ලංකා ඉතිහාසයේ දේශපාලනයේ මෙම මැතිවරණයේදී තරම් පැහැදිළි බෙදීමක් කිසි දිනක සිදුව නැහැ. අද රටේ දේශපාලනය ඉතාමත් තීව්රර ලෙස කඳවුරු දෙකකට බෙදී තිබෙනවා. එම කඳවුරු දෙක වන්නේ ජාතික ජනබලවේගය නියෝජනය කරන අපේ ආණ්ඩුව සහ තැන තැන එකතුවී තිබෙන සුන් බුන් ගොඩක්. ඔවුන්ගේ මැතිවරණ වේදිකාව, පාර්ලිමේන්තු ආමන්ත්‍රණය, පාර්ලිමේන්තුවෙන් පිට කියන කතා දෙස බැලූ විට සියලු දෙනාගේම ප්රතිවිරෝධය ජාතික ජන බලවේගයට එරෙහි බව තේරෙනවා.
දැන් ජනතාව කළ යුත්තේ සැප්තැම්බර් 21 වනදා අත්පත් කරගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යාම සඳහා තමන් නියෝජනය කරන දේශපාල කඳවුර ජයග්‍රහණය කරනවාද, එසේ නොමැතිව එම ගමන ආපසු හැරවීම සඳහා එකතු වී තිබෙන සුන් බුන් ගොඩ ඉදිරියට ගෙන යනවාද යන්නයි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මේ රටේ ජනතාව ඉතාමත් තීරණාත්මක ලෙස පැරණි අසාර්ථක දේශපාලන කඳවුරු පරාජයට පත් කළා. එම පරාජයට පත් කර අත්පත් කරගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යනවාද කියා ජනතාව දැන් තීරණය කළ යුතුයි. අපේ රටේ ජනතාව රට වෙනුවෙන් ඉදිරියට තැබූ පියවර අඟලකින්වත් පසු පසට නොතබා එය ඉදිරියට ගෙන යන බවට මා තුළ විශාල විශ්වාසයක් තිබෙනවා.

මේ රටේ නීතියේ ආධිපත්‍ය නිසි ලෙස තහවුරු කිරීමට අපට අවශ්‍යයි. දැන් එවන් රටක් නිර්මාණය වෙමින් තිබෙනවා. මීට පෙර අපේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ දුබල පිරිසට පමණයි. නීතිය මකුළු දැලක් වගේ තිබුණා. ලොකු අය කඩාගෙන යනවා පොඩි අය අහු වෙනවා. ඒ නිසා දුබල අයට එක නීතියක් සහ බලය තිබෙන එයට එක නීතියක් කියන එක අපි අද වෙනස් කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ කිසි දිනක පොලිස්පතිවරයෙකුට සැඟවී සිටීමට සිදුවුණේ නැහැ. මෙය පළිගැනීමක් නොවයි. අපි එම ආයතනවලට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. නීතිය නිසි ලෙස ඉටු වෙනවාද නැද්ද යන්න පමණක් අපි පරීක්ෂා කරනවා. නමුත් මීට පෙර ආණ්ඩු මැදිහත් වුණේ බලය තිබෙන අය ආරක්ෂා කිරීමටයි. අපරාධ සහ වංචා දූෂණ සිදු කළ අයෙක් වේ නම් තරාතිරම නොබලා නීතිය ඉටුවන රාජ්‍යයක් අපි පළමු වතාවට නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට යහපතක් වන, මේ රටේ දුවා දරුවන්ට අනාගතයේ විශ්වාසදායක රටක් ගොඩනඟන කණ්ඩායම ජාතික ජන බලවේගයේ කණ්ඩායම බව සිහිපත් කළ යුතුයි.
එපමණක් නොවෙයි අපි අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කර තිබෙනවා. මහජනයාගේ මුදල් සතයක් සොරකම් නොකරන සහ නාස්ති නොකරන පාලනයක් අද ලංකාවේ පළමු වතාවට ගොඩනැගී තිබෙනවා. මේ රටේ ජනතාවගේ මුදල් සොරකම් නොකරන, නාස්ති නොකරන පාලනයක් අපට අවශ්‍යයි. අපි රට භාරගන්නා විට ආර්ථිකය ඉතාමත් අසීරු තැනක පැවතුණා. නමුත් අපේ රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපි සමත් වුණා. රට තුළ ආර්ථික ස්ථාවර භාවය අති නොකර අපිට කිසිවක් කරන්න බැහැ. ඒ නිසා අපේ පළමු ප්රයත්නය වුනේ ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමයි. අද රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වයේ සංඥා බොහොමයක් තිබෙනවා. අපි පසුගිය දෙසැම්බර් 21 වන දින ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන මුළුමනින්ම අවසන් කළා. ඒ සමගම නිල වශයෙන් අපේ රට බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. ඒ සමගම අතරමඟ නැවතී තිබු විදෙස් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම ඩොලරයේ අගය රුපියල් 300ට ආසන්න අගයක පවත්වා ගැනීමට අපේ ආණ්ඩුව සමත් වුණා. 35%-40% ගිය බැංකු පොලී අනුපාතය අද 10%න් පහළ තනි ඉලක්කමක රඳවා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව අඩු පොලී අනුපාතයක් යටතේ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට ණය ලබාගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.
ජාත්‍යන්තරයේ මතුව ඇති තත්ත්වය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ හෝ තීන්දු තීරණවල ප්‍රශ්නයක් නොවෙයි. මෙහි මතුව තිබෙන්නේ භූ දේශපාලන ප්‍රශ්නයක්. එම ප්‍රශ්නයට අපි මුහුණදිය යුත් වන්නේ පක්ෂයක් ලෙස නොව ජාතියක් ලෙසයි. ඒ නිසා අපි මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි ප්‍රශ්නයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා උපරිමයෙන් මැදිහත්වන අතරම එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා අපි ජාතියක් ලෙස සූදානම් විය යුතුව තිබෙනවා කියලා. ඕනෑම රටකට තමන්ගේ රටේ තීරු බදු පිළිබඳ තීරණයක් ගැනීමේ අයිතිය තිබෙනවා. අපිට එම අයිතිය බැහැර කරන්න බැහැ. මෙය කිසිසෙත් අපිව ඉලක්ක කළ හෝ අපිව හඹාගෙන ආ දඩයමක් නොවෙයි. පොදුවේ ඇති වූ කරුණක්. එහි යම් අහිතකර තත්ත්වයක් ඇති වීමේ අනතුරක් අභියස අපි සිටිනවා. මම අද උදෑසනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපට මේ වසරේ සපුරාගත යුතු ඉලක්ක ලබා දී තිබෙනවා. මතුවී තිබෙන නව තත්ත්වයට අනුරූප වන පරිදි නව මානයන් පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වනු ඇති බවට එහිදී අපේ අවධානය යොමු වුණා. මෙම කටයුතු වෙනුවෙන් අපි උපරිම සහාය ලබා ගන්නවා.
පසුගියදා සිදුවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේදී අපි ආර්ථික වශයෙන් විශාල ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ප්රයත්නයක් දැරුවා. කෝටි දාහකට ආසන්න ප්‍රදානයක් මේ වසරේ අපේ රටට ලබාදීමට එකඟතාව පළ කළා. ඒ වගේම සාම්පූර්වල මෙගා වෝට් 120ක විදුලි බලාගාරයක් ආරම්භ කිරීම සිදු කෙරුණා. ඉන්දියාව ඩිජිටල්කරණයේ ඉතා ඉහළ පිම්මක් ලබාගත් රටක්. ඩිජිටල්කරණයේදී අපට සහාය ලබාදීමටත්, නැගෙනහිර පළාතේ ක්ෂේත්‍ර ගණනාවකට ආධාර සැපයීමට මෙන්ම ඖෂධ නිෂ්පාදනයේදී සහාය ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එකඟතාවට පැමිණියා. මේ කිසිවක් අප කරන්නේ පෞද්ගලිකව අපේ ආණ්ඩුව වෙනුවෙන් නොව, මේ රට සුබදායී රටක් බවට පරිවර්තනය කිරීම සඳහායි. ආරක්ෂක ගිවිසුම විශාල ආන්දෝලනයකට ලක් කරමින් තිබෙනවා. නමුත් එහි තිබෙන්නේ දැනට සිදුවෙමින් තිබෙන කරුණු. දැනටමත් ඒකාබද්ධ මෙහෙයුම් සහ ඒකාබද්ධ පුහුණුවීම් ක්‍රියාත්මක වෙනවා. මෙම එකඟතාව ඇති කරගත්තේ ඒවා විධිමත් කරගැනීම වෙනුවෙනුයි. අපි කලාපයේ ආරක්ෂාව සුරක්ෂිත කරගත යුතුයි. එහිදී වඩා හැකියාවක් සහ නිපුණතාවක් තිබෙන රටවල සහාය අප ලබාගත යුතුයි.
පසුගිය හැත්තෑහය වසර තුළ අපේ රට තාක්ෂණික දියුණුවේ හිනිපෙත්තට ගෙන ඒමට මේ රටේ පාලකයන් කටයුතු කළා නම් අපට එසේ නොකර සිටීමට තිබුණා. නමුත් ලෝකය තාක්ෂණය සමග ඉදිරියට යන විට අපි කිසිවක් උකහා නොගත් ජාතියක් බවට පත් වුණා. එසේනම් අප කළ යුත්තේ එම දියුණුව ලබාගත් රාජ්‍යයන්හි සහාය ලබාගැනීමයි. අපට කිසිවෙකු මිලදී ගන්න බැහැ. අප මේ සියලුදේ කරන්නේ මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් සහ රටට මීට වඩා හොඳ අභිමානයක් නිර්මාණය කිරීමේ අරමුණන් බව කිවයුතුයි.