දළදා ප්‍රදර්ශනය හෙට – බැතිමතුන් දැන්ම සිට මහපාරේ පෝලිම්වල ළැගුම් ගනියි

දළදා දැක්ම පටන් ගන්නේ හෙටය.. කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට මිනිස්සු අද හවස සිට පෝල්ම්වලය. සිය ඇඳුම් පැළඳුම් පොදි ගසාගෙන ඉටි රෙදි බිම එළාගෙන ගැහැණු පිරිමි ළමා ලපටි බාල මහළු බැතිමත්හු දළදා වන්දනාව සඳහා දින දෙකකට පෙර සිට   පාරවල්වලය.  මෙවන් සිද්ධියක් නුවර නගරසභාව හෝ අපේක්ෂා  කළේ නැත.

දළදා වන්දනාව සඳහා ප්‍රවේශ මාර්ග තුනක් නම් කර තිබේ. මහනුවර අම්පිටිය රතු බෝක්කුව අසල සිට බෞද්ධ මන්දිරය ඔස්සේ මහ මළුවට ඇතුළුවන මාර්ගය.  රතු බෝක්ක අසල සිට වැව රවුමෙන් දළදා වීදිය දෙසින් මහමළුවට එන මාර්ගය, ඩී.එස් සේනානයක වීදිය ඔස්සේ මහ මලුවට පිවිසෙන මාර්ගය මේ ප්‍රධාන ප්‍රවේශ මාර්ග තුනය. මේ වනවිට මේ ප්‍රවේශ මාර්ග තුනේම මහපාරේ මිනිසුන් ලැගුම් ගෙනය. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මහනුවර ඩී.එස් සේනානායක වීදියේ මේ මොහොත වනවිට සැදැහැවතුන් රොද බැඳගෙන සිටින ආකාරය ය.

WhatsApp Image 2025 04 16 at 19.19.49 4fbb3830 Iri News

මේ එක් අයෙක් එක්ක හෝ කතා නොකර ඔවුන් පසුකරන්නට සිතුනේ නැත. අසල සිටි වියපත් මිනිසෙක් සමග කතා කළෙමි. ඔහු ඉටයි රෙද්දක් බිම එළාගෙන සැහැල්ලුවෙන් ඇලවී සිටියේය.

“මාමා කලින්ම…”

 ” ඔවු පුතේ… ගෙදර මොන වැඩක් තිබුණත් මේ දවස් දෙක පාරේ ගත කරලා හරි දළදා වහන්සේ වඳන්න හිතුවා. මේක බුදුන් වඳිනවා වගේ වැඩක්. අපේ ජිවිත කාලෙ ආයේම පාරක් මෙහෙම අවස්ථාවක් ඒවි ද කියලා අපි දන්නේ නෑ. ඉතින් ජීවමාන බුදුන් දැකගන්න ඕන කියන අදහසින් තමයි ආවෙ…”

“මාමගෙ ගම් පලාත කොහොද?”

” ඇඹිලිපිටිය පුතේ… උදේ ඇඹිලිපිටියෙන් ආවා අපි කට්ටිය… බුදුන් වැඳලම තමයි යන්නේ. ඒක සහතික කරගන්න ඕන නිසා තමයි කලින්ම ආවේ. බුදු හාමුදුරුවො දකින්න ඇවිත් මහ පාරේ නිදාගන්නේ පුදුම සතුටෙන් පුතේ ”

ඔහු කිවේය. ඔහුගේ බොර පැහැති ඇස් දීප්ත්මත්ව බැබලිනි. අපට මේ කතාව කියන්නේ දළදා වඳින්නට පැමිණ මේ මොහොතේ සිට මහ පාරේ ඉන්නා ඇඹිලිපිටියේ අබේරත්න මාමාය. පැමිණ සිටින පිරිස අතර කාන්තාවෝ ද විශාල පිරිසක් වෙති.

දැන් මහනුවර නගරසභාවට අපේක්ෂා කළ කාලයට කලින් ප්‍රශ්නය ඇවිත් ඇත. ඒ මේ ලැගුම් ගෙන සිටින පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව සැපයීමය. ආහාර පාන ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ 18 වැනිදා සිටය. ඒ දක්වා මේ අයගේ සෞඛ්‍ය සම්බන්ධව වගකීම මේ වනවිට මහනුවර මහ නගරසභාවේ ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ වෙත පැවරී තිබේ.

මේ පිරිසගේ සෞඛ්‍ය ගැන අවධාරණය කරමින් ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ මේ වනවිට ඔවුන්ට අවශ්‍ය වැසිකිලි කැසිකිළි ඇතුළු සනීප ආරක්ෂක පහසුකම් සලසා ඇති බවය.

“ගලි බවුසර 04ක් යොදවා තිබෙනවා.  ජල බවුසර සහ හදිසි රෝගී තත්ත්වයන් ඇති වුවහොත් ගිලන් රථ පහසුකම් සපයා තියනවා. මේ අයට සෞඛ්‍ය සම්බන්ධව පැමිණිල්ලක් කරන්න උනොත් හැම ලයිට් කනුවක කිවූ ආර් කෝඩ් එකක් තියනවා. ඒක ස්කෑන් කරලා කෝල් එකක් දෙන්න තියෙන්නේ.

“ඒ ගොල්ලන්ට අනිද්දා ඉඳන් තමයි දන්සැල් විවෘත වෙන්නේ. දන්සැල් 228ක් 18 වැනිදා සිට දින 10ක් පුරා විවෘත වෙලා තියනවා. ඒ දන්සැල් ගැන සියලුම තොරතුරු තමන්ගේ ජංගම දුරකථනයේ අන්තර්ජාල පිවිසුමට ගිහින් මහනුවර මහ නගර සභාවේ දළදා දැක්මට අදාල දන්සැල් කියලා ටයිප් කරලා සර්ච් කරන්න පුලුවන්. එතකොට දන්සැල් තියන තැන්, තියන කෑම,  දන්සල් පවත්වන වෙලාවල්, කී දෙනෙකුට ආහාර ගන්න පුලුවන්ද කියලා තොරතුරු ඒ හරහා නිවැරදිව හොයා ගන්න පුලුවන්. ” ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ සිලෙක්ට් කළ දන්සැල් තෝරා ගත හැකි ආකාරය ගැනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *