රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුවට දඩ ගෙවීමේ ක්රමවේදය නතර වුවහොත්, තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමට දැඩි බලපෑමක් සිදුවන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම-කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා.
රටේ සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම සම්බන්ධයෙන් කිසිඳු විරෝධයක් නැතත්, මෙම දඩ ගෙවීමේ ක්රමය තැපැල් දෙපාර්තමේන්තුවට අහිමි වුවහොත් වාර්ෂිකව රුපියල් මිලියන 600 – 800 ත් අතර මුදලක් අහිමිවන බවයි ඔහු සඳහන් කළේ.
මේ සඳහා විසඳුමක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වාදුන් මෙවලම ක්රියාත්මක කරන ලෙස ද, රථවාහන දඩ ගෙවීම් ලබාගැනීම දිගටම කරගෙන යෑමට ඉඩදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.
තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමට සිදුවන ඕනෑම හානියක් රජයේ භාණ්ඩාගාරයට සෘජුවම බලපාන බවත්, GovPay මාර්ගගත රථවාහන දඩ ගෙවීම් ක්රමය දැනට නියමු වැඩසටහනක් ලෙස ක්රියාත්මක වන බැවින්, පවතින වැඩසටහනේ රාමුව තුළ තමන්ගේ යෝජනාව සංශෝධනය කර ඒකාබද්ධ කිරීමට රජයට තවමත් අවස්ථාව තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.