පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු 01 දින සිය නිවස අසල කාමරයක් තුළ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, අංගම්පිටිය, 302 / 3 නිවසේ පදිංචි එස්. චමින්ද නමැති 40 හැවිරිදි විවාහක එක්දරු පියකි. දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී සිටි මෙම පුද්ගලයා මීට ඉහතදී පුනරුත්ථාපනවී සිට පැමිණි අයෙකු බවත්, මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමත් සමගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය දැඩි ලෙස හිඟවීම නිසා, මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මොහු මෙලෙස සිය ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවට සැක කළ හැකි බව පොලිසිය පවසයි.
පොලිසියට අවශ්‍යව සිටි මෙම පුද්ගලයා පොලිසිය මගහැර සිටි අයෙකු බවත්, පොලිසියට බිය වී මොහු නිවස අසල ඇති කාමරයක රාත්‍රී කාලයේ ගත කර ඇති අතර, 01 දින උදේ කිරිබත් කෑම සඳහා ඥාතියකු මෙම පුද්ගලයා ගැන සොයා බැලීමේදී මොහු සොයා ගැනීමට නොහැකිව ඇත. පසුව නිවස අසල ඇති කාමරයක ජනේලය කඩා ඒ තුළ සොයා බැලීමේදී මොහු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව ඔවුන් දැක ඇත.
ඉන්පසු ඔවුන් ඒ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකළහ. මියගිය අයගේ ඉදිරි පරීක්ෂණ කටයුතු පාදුක්ක රෝහලේදී සිදු කිරීමට නියමිතය. පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 30000 කේ. ඒ. තිලකසිරි මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.