මහින්ද,රනිල්,මෛත්‍රී,ගෝඨා වාහන යළි රජයට බාර දෙයි

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හැර අනෙක් හිටපු ජනාධිපතිවරුන් මෙලෙස තම වැඩිපුර වාහනය ජනාධිපති කාර්යාලයට බාරදී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපතිවරුන් වෙත කළ ලිඛිත දැනුම් දීමට අනුව මෙම වාහන බාරදී තිබේ.

ජනාධිපති ලේකම්වරයා අප්‍රේල් 19 දින නිකුත් කළ අදාළ ලිපියෙන් දැනුම් දී තිබුනේ අප්‍රේල් 23 වැනිදාට පෙර අදාළ වාහනය ජනාධිපති කාර්යාලයට බාර දෙන ලෙසයි.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම කර තිබිණි.

මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ ලෑන්ඩ් කෘෂර් V8 රථය ඉකුත් 28 වැනිදා ද ,මෛත්‍රීපාල සිරිසේන මහතා පාවිච්චි කළ ලෙක්සස් ඩිපෙන්ඩර් රථය ඉකුත් 24 වැනිදා ද,ගෝඨාභය රාජපක්ෂ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් රෝවර් ජීප් රථය ඉකුත් 23 වැනිදා ද , රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ රථය 28 වැනිදා ද ජනාධිපති කාර්යාලයට බාර දී තිබෙන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා කීය.

කැබිනට් අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කෙරුණු අතර හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් හිටපු ජනාධිපතිවරුන්ට හිමි වාහන ගණනද දෙකකට සීමා කර තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *