ඉතිහාසයේ පළමුවරට විභාග කොමසාරිස් ලෙස කාන්තාවක් පත් කරයි

නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඉන්දිකා ලියනගේ පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා කාන්තාවක් පත් කෙරෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඉතිහාසයට එක් වන ඉන්දිකා ලියනගේ අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. මෙම තනතුර විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන අතර දෙපාර්තමේන්තුවේ එම ශ්‍රේණිය දරන එකම තැනැත්තිය ද ඇය ය. පාසල් විභාග රහස්‍ය අංශය භාරව කටයුතු කරන ඉන්දිකා ලියනගේ දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සේවය කළා ය.

මෙම තනතුර සඳහා තුන් කොන් සටනක් පැවැතිණි. කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයාව සිට දෙපාර්තමේන්තුවට පැමිණි තිලක් වත්තුහේවා සහ දෙපාර්තමේන්තුවේ විසි වසරක පමණ සේවා කාලයක් සහිත නිලධාරිනියක් ද ඒ අතර වූහ. එම දෙදෙනා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වුවත් තනතුරට අදාළ විශේෂ ශ්‍රේණිය නොමැති වීම නුසුදුසු වීමට හේතු වී ඇත.

කෙසේ වුව ද නියමිතව ඇති නව පත් කිරීමට අදාළව දෙපාර්තමේන්තුවේ දස වසරකට වැඩි සහ දස වසරකට අඩු වශයෙන් නිලධාරීහු කොටස් දෙකකට බෙදී සිටින බව එහි ආරංචි මාර්ග කීවේය. දස වසරකට අඩු පිරිස ඉන්දිකා ලියනගේ පත් කරන ලෙස ඉල්ලා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලිපියක් භාර දී තිබේ. දස වසරකට වැඩි සේවා කාලයක් සහිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇත.

වත්මන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මැයි මස 6 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *