ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත්ට ඇප ලබා දීම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ දී ද ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, අධිකරණය නියෝග කර ඇත්තේ, හිටපු මහ ඇමතිවරයා මැයි 19 වන දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙසයි.
ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත්ට එල්ල වී තිබෙන චෝදනාවන් වන්නේ, රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබුණු – පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතුවකින් – රුපියල් මිලියනයක මුදලක් අවභාවිතා කිරීම හා රාජ්‍ය බැංකුවක පැවති ස්ථාවර තැන්පතුවක් එම බැංකුවෙන් ඉවත් කිරීම හරහා රුපියල් මිලියන 23 ක මුදලක් රජයට අහිමි කිරීමයි.
රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබුණු – පළාත් සභාවට අයත් – ස්ථාවර තැන්පතු මුදල් එම බැංකුවෙන් ඉවත් කර ගැනීම චාමර සම්පත් විසින් කර තිබෙන්නේ මධ්‍යම රජයේ නියෝගයකට අනුව බැවින් එකී චෝදනාවට ඔහු නිවැරදිකරු බව හැගවෙන ආකාරයේ ප්‍රකාශයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා සිදු කළේ ය.
හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මහත් ආන්දෝලනයක් රට තුළ ඇති කළ අතර, අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා හිටපු ජනාධිපතිපරයා එම කොමිසම හමුවට කැදවීමට කටයුතු කලේ ය.