ලක්ෂ 10ක පිරිසක් බදු අංකය ලබා ගනියි

මේ වන විට බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගෙන පිරිස දශ ලක්ෂය ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා, අද දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ අද (04) පෙරවරුවේ එක්වෙමින් මේ බව අනාවරණය කර සිටියේය.

“මුලින් කියපු ගැසට් නිවේදනය නිකුත් කරන කොට අපේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තිබුණේ 437,547 යි. අද වෙනකොට එය දශලක්ෂය ඉක්මවලා තිබෙනවා“, යැයි ඒ මහතා පැවසීය.

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා පවසන්නේ, TIN අංකයක් ලබාගත් පමණින් යම් අයෙක් බදු ගෙවිය යුතු අයෙකු බවට සලකන්නේ නොමැති බවයි.

“TIN අංකයක් ගත්තා කියන එකේ තේරුම එය බදු ගෙවිය යුතු පුද්ගලයෙක්ම කියන එක නෙමෙයි. ජංගම ගිණුමක් විවෘත කිරීමේ දී, ඉඩමක් මිලදී ගැනීමේදී, ගොඩනැගිලි සැලසුමක් අනුමත කර ගැනීමේ දී, වාහනයක් ලියාපදිංචියේ දී සහ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී යනා දී වශයෙන්, සේවාවන් ලබා ගැනීමේ දී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කළ යුතු අවස්ථා මෙවර අයවැයේ දී ඉදිරිපත් වුණා. එතන දී පැහැදිලිව කියලා තියෙන්නේ ඒ අවස්ථාවේ දී බදු ගෙවන්න හඳුනාගැනීමේ අංකය මොකක්ද කියලා ඉදිරිපත් කිරීම විතරයි. ඒකෙන් එතන දී හොයන්න යන්නේ නැහැ බදු ගෙවපු කෙනෙක් ද බද්දට යටත්වන කෙනෙක් ද, මුකුත් හොයන්නේ නැහැ. අර ටින් අංකය විතරයි ඉදිරිපත් කරන්න තිබුණේ. මේක ජනවාරි මාසේ 01 ඉඳලා ක්‍රියාත්මක වෙන්න තිබුණත් පසුගිය දවසක මුදල් රාජ්‍ය ඇමතිතුමා විසින් ප්‍රකාශ කළා, පෙබරවාරි මාසේ 01 වෙනිදා වෙනකන් කල්දැම්මා කියලා. ඒ මොනවා වුණත් ඒ බජට් එකෙන් කියපු දේ නිතිය බවට පත්කළාය පස්සේ තමයි අපිට නීතිය විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. මේ වෙනකොට නීතිය බවට පත්වෙලා නැහැ. තවම යෝජනාව තියෙනවා. ඒක නීතිය බවට පත්වන්න ඕනේ අදාළ පනතට සංශෝධනයක් විදියට ආවාට පස්සේ. පනතට සංශෝධනය ඉදිරියේ දී අපි ගේනවා“, යනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *