ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු ප්‍රතිශත ඉහළ දැමීම සම්බන්ධව කරන ලද ප්‍රකාශය නිසා විනිමය අනුපාත වෙනස්වීම හේතුවෙන් ජපානයෙන් ආනයනය කරන වාහන මිල සියයට 5 ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් එකක වටිනාකම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරටට ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා වැඩි මුදලක් වැය කිරීමට වාහන ආනයනකරුවන්ට සිදුවී ඇතැයි ඔවුහු පවසති.
විනිමය අනුපාත වෙනස්වීම් නිසා ජපානයේ වාහන වෙන්දේසි කරන ආයතන වාහන මිල ගණන් ඉහළ දමා ඇත.
මෙම තත්ත්වය මත වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ තුන හමාරකින් ඉහළ ගොස් ඇති අතර, ටොයෝටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 35 ත් 40 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇත.
මෙරටින් තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ජපානයෙන් සැපයුම් කිරීමට එරට වෙන්දේසි ආයතනවල වාහන නොමැති බව ද අනාවරණය වේ. මෙම අධික ඉල්ලුමද, ජපානයේ වෙන්දේසි ආයතනවලින් වාහන මිල ගණන් යම් පමණකින් ඉහළ දැමීමට බලපා ඇත.
වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු මෙරටට වාහන 5,000 ක් පමණ ජපානයෙන් ආනයනය කර ඇත. ඉන් වාහන 3,000 කට වැඩි සංඛ්‍යාවක් විකිණී අවසන් බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ පැවැසීය. ආනයනික වාහන රේගුවෙන් නිදහස් කරගැනීමේ දී විශාල ප්‍රමාදයක් පවතින බවත්, මේ නිසා වැඩි වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවී ඇති බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත දත්ත අනුව ඉකුත් සිකුරාදා (16 වැනිදා) ජපන් යෙන් එකක ගැණුම් අනුපාතිකය රුපියල් 2.0164 ක් විය. විකුණුම් අනුපාතිකය රුපියල් 2.0943 ක් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතිකය රුපියල් 302.6561 ක් විය.