ලංකාවත් සම්බන්ධ කරගනිමින් ඉන්දියාවේ සිදු වූ දැවැන්ත වාහන වංචාවක් හෙළි වෙයි

රොල්ස් රොයිස්, කැඩිලැක් වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අවම වශයෙන් 30 ක් ශ්‍රී ලංකාව හා ඩුබායි ඔස්සේ ඉන්දියාවට ගෙන්වමින් සිදුකළ ඉන්දීය රුපියල් කෝටි 100 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 300 ක පමණ) බදු වංචාවක් සම්බන්ධයෙන් තොරුතුරු අනාවරණය කර ගැනීමටත් වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු අත් අඩංගුවට ගැනීමටත් එරට අදායම් බුද්ධි ඒකකය හැකියාව ලැබී ඇත.

රොල්ස් රොයිස්, ලෙක්සස්, හමර් ඊවී, ලින්කන් නැවිගේටර් සහ ටොයොටා ලෑන්ඩ් කෘසර් මාදිලිවල අධි සුඛෝපභෝගී වාහන ශ්‍රී ලංකාව සහ ඩුබායි වෙත ගෙන්වා එය ඉන්දියාවට ගැලපෙන ආකාරයෙන් වෙනස් කර වාහනේ නියම මිලෙන් සියයට 50 ක් පමණ අඩුවෙන්, ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඉන්දියාවට ගෙන්වමින් මෙම බදු වංචාව සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සහ ඩුබායි හරහා ඉන්දියාවට ආනයනය කර ඇත්තේ ඇමෙරිකාවෙන්, ජපානයෙන් මිලදී ගත් වාහන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් නගරයේ වසර 10 ක කාලයක සිට අධි සුඛෝපභෝගී වාහන අලෙවි ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යන භශාරත් ඛාන් නැමැති ඉන්දීය ව්‍යාපාරිකයෙකි. ඔහු තනිව අධි සුඛෝපභෝගී මෝටර් රථ 8 ක් වංචනිකව ගෙන්වා ඇති බවත් ඉන් සිදුවූ බදු වංචාව කෝටි 7 ක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඛාන්ගෙන් අධි සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගත් ගැනුම්කරුවන් සියල්ලම බදුවලින් බේරීම සඳහා අත්පිට මුදල් ගෙවා ඇති බවද එරට මාධ්‍ය සඳහන් කළේය.

මෙම නීති විරෝධී ආනයන කණ්ඩායම හයිද්‍රාබාද්, මුම්බායි, පූනේ, අහමදාබාද්, බැංගලෝර් සහ දිල්ලි යන නගර පුරා විහිදී තිබෙන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *