මාවිල්ආරු සොරොව්ව අසල යුද ජයග්‍රහණය සමරයි

Mavilaru1 Iri News

16 වැනි යුද ජයග්‍රහණය සැමරීමේ උළෙලක් මානුෂීය මෙහෙයුමේ කේන්ද්‍රස්ථානය වූ මාවිල්ආරු සොරොව්ව අසලදී ඊයේ (18 දා) සේරුවිල ප්‍රදේශයේ දහම් පාසල් හා ප්‍රදේශවාසීන් එක්ව පවත්වන ලදී.

මානුෂීය මෙහෙයුමේ කේන්ද්‍රස්ථානය වූ මාවිල්ආරු සොරොව්ව අසලදී යුද ජයග්‍රහණය සමරමින්…

මාවිල්ආරු සොරොව්ව වසා තැබීම නිසා සේරුවිල අල්ල ගොවි ජනපදයේ කුඹුරු අක්කර 65000 ක් පමණ විනාශ වීමත්, පානීය ජල ගැටලුවත් හේතුවෙන් ආරම්භ කරන ලද මානුෂීය මෙහෙයුමේ කේන්ද්‍රස්ථානය මාවිල්ආරු සොරොව්ව වේ. මෙම ස්ථානය මෙරට ඉතිහාසයේ විශේෂ ස්ථානයක් බවත් රණවිරුවන් මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සාමූහික එකතුවේ ප්‍රතිඵලයක් නිසා ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමට හැකි වූ බවත් සේරුවිල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් බුලත්සිංහල මහතා (ශ්‍රී.ල.පො.පෙ) මහතා මෙහිදී පැවසීය.

සේරුවිල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගනේගොඩ ධම්මකිත්ති, උප සභාපති නීලපොල ධම්මසේන හිමිවරුන් මෙන්ම නීලපොළ, දෙහිවත්ත, මැදගම, සෝමපුර ආදී විහාරස්ථානවලට අනුයුක්ත දහම් පාසල් සිසුන් හා ගුරුභවතුන් ඇතුළු ප්‍රදේශවාසීහු මාවිල්ආරු සොරොව්ව අසලට පැමිණ පහන් ආලෝක පූජාවක් හා මියගිය රණවිරුවන් සඳහා පින් පැමිණවීමේ ආගමික කටයුතු සිදු කළහ.

මෙම අවස්ථාවේ ආරාධිත දේශනය සිදු කළේ සමාජ ක්‍රියාකාරී අරුණසිරි කෝට්ටේගොඩ මහතා විසිනි. සංවිධායකයන් විසින් පැමිණ සිටි පිරිසට කිරිබත් හා රසකැවිලිවලින් සංග්‍රහ කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *