විදුලි බල මණ්ඩලය විසින් විදුලිය ගාස්තු 83%කින් ඉහළ දැමිය යුතු බවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳ අවසන් තීරණය ලබන ජුනි මස දෙවන සතිය තුළදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් පැවසීය.
මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අනුව ලබන ජූලි මස 1 වන දා සිට විදුලිය ගාස්තු 18.3% ඉහළ දැමිය යුතු බවට ලංකා විදුලි බලය මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉකුත් සිකුරාදා යෝජනා ඉදිරිපත් කරන ලදී.
එම යෝජනාවලිය පිළිබඳ කොමිෂන් සභාව විසින් අධ්‍යයන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ත් එහිදී ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ අඩංගු දත්තවල නිරවද්‍යතාව සොයා බැලීම මෙන් ම විදුලිබල පනතේ සහ විදුලිය ගාස්තු ක්‍රමවේදයට අනුකූලද යන්නත් සලකා බලා හෙට (මැයි 20) වන විට කොමිෂන් සභාවේ උපදේශන පත්‍රිකාව සකස් කර ලිඛිත අදහස් විමසීමට අමතරව වාචික අදහස් විමසීම 23 වන දා සිට ලබන මස 3 වන දා දක්වා කාලසටහනකට අනුව පළාතේ මට්ටමින් සිදුකිරීමට කොමිසම සැලසුම් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.
විදුලිය ගාස්තු සංශෝධනය වසරකට දෙවරක් සිදුකෙරෙන අතර වත්මන් රජය යටතේ මේ වසරට අදාළ දෙවන විදුලිය ගාස්තු සංශෝධනය මෙය වන අතර පසුගිය ජනවාරි මාසයේ සිදුකෙරුණු සංශෝධනයෙන් 20%කින් ගාස්තු අඩු වීමක් සිදු කෙරිණි.
කෙසේ නමුත් මෙවර ගාස්තු වැඩිවීමක් යෝජනා කර ඇත.