මිහිදු සෙත් මැදුරට ගිහින් ජනපති අනුර රණවිරුවන්ගේ සුවදුක් විමසයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුව දුක් විමසා බැලුවා.

සෙබළුන් හමු වී ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමට ද එක් වුණා.

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළා.

අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර – සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟ ද අදහස් හුවමාරු කර ගත් අතර සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී තිබෙනවා.

image 11 Iri News
image 12 Iri News
image 13 Iri News
image 14 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *