වත්මන් රජය විසින් ආරක්ෂක හමුදා සාමාජිකයන් සතු පහසුකම් එකින් එක කප්පාදු කරමින් ඔවුන්ගේ ගෞරවය බිඳ දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ පෙරේදා (18) පැවති රණවිරු සැමරුමකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“හමුදා සාමාජිකයන්ගේ පහසුකම් කප්පාදු කරමින් තිබෙනවා. සතියකට වරක් ලැබෙන මස් ටික අඩු කරලා තිබෙනවා. යුද කාලෙදීවත් හමුදා සාමාජිකයන් මෙහෙම අතහැර ගියේ නෑ. ආරක්ෂක හමුදා සාමාජිකයාගේ ගෞරවය බිඳ වට්ටලා තිබෙනවා. යුද්දේ කාලෙවත් හමුදා සාමාජිකයන්ගේ පාස්පෝට් එක හමුදා භාරයට අරගෙන නෑ. ඒකත් හමුදා ප්‍රධානීන්ගේ භාරයට අරගන්න තත්ත්වයට පත්වෙලා. වීරයෝ ජීවිත පුදලා බේරා ගත් ලක් මාතාව වෙනත් පාරකින්, වෙනත් දිශාවකට අරගෙන යමින් තිබෙනවා. ජනාධිපතිවරයා උතුරට ගියාම කියනවා ජාතිවාදයට පණදෙන්නේ නෑ කියලා. යාපනයේ තිස්ස විහාරය ළඟ හැම පෝයටම නාඩගම් නටන්නේ කොහොමද? මෙහෙ තිබෙන හින්දු කෝවිලක් ඉස්සරහට බෞද්ධයන් ගිහින් නාඩගම් නටනවාද? උතුර බේරා ගත්තේ රණවිරුවන්. ජාත්‍යන්තර තලයේ සතුරා පරාජය භාරගෙන අවසන් නෑ. එම පරගැති සතුරන්ගේ චින්තනය අපේ දරුවන්ගේ මනසට ඇතුළත් කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. රට දැය ගැන නොහිතන දරුවෙක් නිර්මාණය කරන්න උත්සාහ ගන්නවා.”
නුවන් කොඩිකාර