අලුත් වර්ගයේ දුරකථනයක් බව සිතා ආච්චි කොන්දොස්තරගේ ටිකට් මැෂිම උස්සලා – කෝල් ගන්න හදද්දී ටිකට් එකකුත් එළියට ඇවිත්

ලංගම බස් රථයක් තුළදී අලුත් වර්ගයේ ජංගම දුරකතනයක් යැයි සිතා කොන්දොස්තරවරයාගේ ටිකට් මැෂිමක් සොරකම් කරන ලද කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදාහැර තිබෙනවා.

අදාළ 71 හැවිරිදි කාන්තාව ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටයි ගාල්ල මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ නියෝග කර ඇත්තේ.

ඇය පසුගිය දිනෙක නිවස බලා යාමට ලංගම බස් රථයකට ගොඩ වී ඇති අතර එහිදී කොන්දොස්තරගේ ටිකට් මැෂිම අසුනක් මත තිබෙනු දැක තිබෙනවා.

මෙම අවස්ථාවේදී බස් රථය තුළද සිට ඇත්තේ මගීන් කිහිපදෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.

බස් රථයට ගොඩ වූ කාන්තාව තමා වාඩි වූ අසුනට යාබද අසුනේ තිබු ටිකට් මැෂිම සොරාගෙන ගොස් ඇති බවට සඳහන්.

පසුව ඇය දුරකථනයෙන් ඇමතුම් ගැනීම සඳහා අංක ඔබා ඇති අතර ඇමතුම් වෙනුවට බස් ටිකට්පත් පිටවී ඇති බවයි පැවසෙන්නේ.

මෙය දුරකථනයක් නොව ටිකට්පත් මැෂිමක් බව දැනගත් මෙම කාන්තාව අදාළ ටිකට් මැෂිම ගාල්ල බස් නැවතුම්පොළේ නිලධාරියෙකුට භාර දී තිබෙනවා.

එහිදී ඇයව අත්අඩංගුවට ගත් ඉමදුව පොලිසිය විසින් ඇයව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *