මෙවර පොසොන් මහා පින්කම් පැවැත්වීමේදී හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටීම වැනි බුදු දහමට නොගැළපෙන වැඩසටහන් කිසිසේත්ම අනුමත නොකරන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.
රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මෙහිදී වැඩිදුරටත් අනුශාසනා කළ උන්වහන්සේ මෙසේ ද කීහ.
“බුද්ධ වර්ෂ 2569ක් වන මේ වර්ෂයේ පොසොන් උත්සවය ලබන 10 වැනිදා පැවැත්වෙන බව සමස්ත ජනතාවට දැනුම් දෙනවා. පොසොන් මහා පින්කම් උත්සවය අපේ රටේ සමස්ත ජනතාවම මහත් භක්තියෙන් ආදරයෙන් සිහිපත් කරන දවසක්.
මේ වෙන කොටත් විහාරස්ථාන, ස්වේච්ඡා සංවිධාන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. පොසොන් මහා පින්කම කියලා කියන්නේ අපේ රටේ වෙසක් උත්සවය හා සමාන ඊටත් වඩා වැදගත් වන උත්සවයක්. මේ ශ්‍රී ලංකාවේ සම්මා සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වුණේ පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජතුමාගේ සහයෝගයෙන් බරපතළ දැක්මක් ඇතිව පියවර ගණනාවක් යටතේ ලංකාවේ බුදුදහම ව්‍යාප්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා.
ජාතික වශයෙන් වැදගත් වන මේ පින්කම මේ දවස අපි ප්‍රතිපත්තියට මුල් තැන දීලා ක්‍රියාත්මක වීමයි කරන්නේ.
පොසොන් මහා පින්කමට නොගැළපෙන අසංවර වැඩසටහන් සංවිධානයකර තිබෙන බව දැනගන්නට තිබෙනවා.
විශේෂයෙන් හොල්මන් ගෙවල්, ඔළුබක්කන් නැටීම, සංගීත සංදර්ශන බුදු දහමට බෞද්ධ දර්ශනයට අදාළ වෙන්නේ නැහැ. මිනිසුන් තුළ ත්‍රාසය භීතිය කුතුහලය ඇති කරනවා.
නොයෙක් විපරීත වැඩසටහන් ඒ තුළ ක්‍රියාත්මක වෙනවා. බෞද්ධ දර්ශනයටවත් බුදු දහමටවත් පොසොන් මහා පින්කමටවත් ගැළපෙන්නෙ නැහැ.
ඉතාමත් වැරදි වැඩසටහන්. ඇතුළු වෙන්න මුදල් අය කරනවා. කුතුහලය, භීතිය, ත්‍රාසය ඇති කරලා නොයෙක් නාඩගම් ගොඩක් මේ තුළ සිද්ධ වෙනවා. අඳුරු කරනවා. ආලෝකරණය කරනවා. අඳුරු කරන අවස්ථාවේ නොයෙක් අසභ්‍ය දේවල් සිදු වෙනවා.
ඒවා කොහොමටවත් මේ රටේ සදාචාරයට මේ වගේ දවසක ගැළපෙන්නේ නැහැ. හොල්මන් මන්දිර, ඔළුබක්කන් සංගීත සංදර්ශන මේ දවසේ කොහොමටවත්ම අනුමත කරන්න බැහැ.
කරුණාවෙන්, ශාසනාලයෙන් කටයුතු කරන ලෙස ශාසනාරක්ෂක බලමණ්ඩලය හැටියට ඉල්ලා සිටින්නේ මේ උතුම් දවසේ විශේෂයෙන්ම ප්‍රතිපත්තියට මුල් තැන දී දාන, ශීල, භාවනා වැඩසටහන්
පින් සිතින් කරන්න කියලයි.
මෙහිදී අනුශාසනා කළ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ හිමි,
“අද දිවයිනේ වෙහෙර විහාර ඉදිවෙලා බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. මෙය අර්ථගැන්වීමට අපේ සමාජය ශක්තිමත් වෙලා තිබෙනවා. වර්තමානයේ බුදු දහමට විවිධ අභියෝග එල්ල වෙන යුගයක් බවටත් පත්වෙමින් තිබෙනවා.
පොසොන් පොහොය වගේම වෙසක් පොහොය බෞද්ධයන් වන අපටත් ලෝකයටත් වැදගත් වෙන දිනයක්. ඒ දිනය ප්‍රතිපත්තිමය පූජාවලට මුල් තැන දෙමින් බෞද්ධ ජනතාව විහාරස්ථානයත් සමඟ මහා සංඝරත්නය සමඟ දැඩි සම්බන්ධතාවකින් සමරනු ලබනවා.
ඛේදනීය තත්ත්වයක් උදා වෙමින් තිබෙනවා. මේ වන විට අනවශ්‍ය සංස්කෘතිකාංග ගැළපෙන්නෙ නැති විවිධ බහුවිධ දේවල් සමාජගත වෙලා තිබෙනවා. හොල්මන් මන්දිර,
ඔළුබක්කන් නැටීම විනෝදය සඳහා වැඩසටහන් ඉදිරිපත් කිරීම මේ පොසොන් උදාවටත්, වෙසක් උදාවටත් කරන මහත් නින්දාවක්. එය කිසිසේත්ම අනුමත කළ නොහැකියි.
ලක්වැසි බෞද්ධ ජනතාවගෙන් වගේම ත්‍රෛනිකායික ආර්ය මහා සංඝරත්නයෙන් අපි ඉල්ලීමක් කරනවා. බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුගතව ඒවාට මුල්ගත වෙමින් බුදුදහමේ සුරක්‍ෂිතභාවයට හානියක් නොවන අන්දමින් මෙම උදා වන පොසොන් දිනය වගේම අනෙකුත් පොහොය දින තුළත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න.
ගෞරවයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ බුදුදහම ශක්තිමත් කිරීමටත් බෞද්ධයන් තුළ ආකර්ෂණය වැඩි කිරීම උදෙසාත් යම් වැඩපිළිවෙළක් ග්‍රාමීය වශයෙන් වෙහෙර විහාර මහා සංඝරත්නය මුල් කරගෙන කටයුතු කරන්න.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසක කණුමුල්දෙනියේ චන්දවිමල හිමියෝ ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.