පාන් ගෙඩියක් සොරකම් කළත් මිග් යානාවලින් සොරකම් කළත් සොරකම සොරකමමයි – අල්ලස් කොමිසම

“මනුතාපයේ” වැල්ජෝන් පාන් ගෙඩියක් සොරකම් කළත් මේ යුගයේ “මිග්” යානාවලින් සොරකම් කළත් සොරකම සොරකමමයි. මහා පරිමාණ දූෂණ වංචා විමර්ශනවලදී සුදු කරපටි අපරාධකාරයන් වැඩි දෙනා බවට තහවුරු වී තිබෙනවා. නීතිය සැමට සමානයි. වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුමයි යැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ සඳහන් කළේ ශ්‍රී පෙරේරා ලංකා වෘත්තීය වේදීන්ගේ සංගමය සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරයා,

යමක් කරනවා කියලා පෙන්වන අපි රුපියල් දාහ දෙදහා අල්ලස් ගත්තු අයව අල්ලල නඩු දානවා. ඒත් මහා පරිමාණයේ දූෂණවලට අත තියන්නේ නෑ. අල්ලස් දූෂණ පනතේ දූෂණය කියන වරද සුවිශේෂ වරදක්. වෙනත් රටවල මේ වරද නැති තරම්. ‘දූෂණය’ කියන වරද 1994 තමයි අල්ලස් පනතට ඇතුළු කළේ. එය විශේෂ ගණයේ පනතක්. එම පනත නොතිබෙන්න පසුගිය කාලයේ සිදුවුණු අපරාධවලට පියවර ගන්න නොහැකි වෙනවා. අපිට තියෙන අභියෝගය තමයි පසුගිය රජයන් පැවැති කාලයේ බොහෝ දේවල් කරලා තියෙන්නේ නීත්‍යානුකූල බව පෙන්වලා.

රජයේ සේවකයෝ හිතාගෙන ඉන්නේ කැබිනට් පේපර් එකක් දැම්මාම සෑම දේම හරි කියලා. කැබිනට් පේපර් එකක් දාන්නෙත් දූෂණ පනතින් නම් එය නොතිබෙන්නට බොහෝ අක්‍රමිකතාවලට නීත්‍යනුකූලව පියවර ගන්න ලැබෙන්නේ නෑ.

දූෂණය ඇතුළේ රටට වෙලා තියෙන පාඩුව වගේම ඒ අය ලබාගෙන ඇති ප්‍රතිලාභය සම්මත ක්‍රමයට ගණනය කරන්නත් බැරි තරම් විශාලයි. තමන්ට හිතෙන්නේ නැද්ද තමන් මේ දේ කරන එක වැරදියි, හරි නෑ කියලා.

මම දඬුවම් නියම කරන පරමාර්ථයත් එක්ක දඬුවම් නියම කරපු විනිශ්චයකාරවරයෙක්. විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානතම කාර්ය තමයි නිසි පුද්ගලයාට නිසි දඬුවම තෝරා ගැනීම. අපි අපරාධ විනිශ්චය ඉගෙන ගෙන තියෙනවා. එහි ඉතාම පැහැදිලි කාරණය වන්නේ කුමන හේතුවකින් හෝ අපරාධයක් හෝ වරදක් කෙනකු සිදු කරන්නේ ද යන්න කියන එක.

සමහර අධිකරණ ස්වයංක්‍රීයව දඬුවම් නියම කරගෙන යනවා. සමහර උසාවිවල කූඩුවට නඟිනකොටම දඩය නියම කරලා ඉවරයි. එතකොට අර දඬුවම් නියම කිරීමේ පරමාර්ථයට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා.

අල්ලස් දූෂණ කොමිෂම නිසා රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න බැහැ කියන බියක් රාජ්‍ය සේවය තුළ පතුරවමින් තිබෙනවා. ඒක වැඩ නොකර සිටීමට කරන උපාය මාර්ගයක්.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීමක් කළා. එහිදී සොයාගත් මුදල් එම ඒකකයේ සියලු දෙනා අතර සෑම සිකුරාදාවකම බෙදා ගැනීමේ ක්‍රමවේදයක් තිබූ බවට තහවුරු වුණා. ඒ අතරේ එළියට ඇවිල්ලා හොරු අල්ලනනේ නෑ කියන අය කොච්චර හිටියාද? “තමන් කියන” හොරා හැර අනිත් හොරු අල්ලන්නේ නෑ කියලයි කෑ ගහන්නේ.

මේ අපරාධ හුදෙක්ම විමර්ශනය කරලා නඩු පැවැරීමෙන් පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමත්, දේශපාලනයත් පටලවා ගන්න එපා. අල්ලස් දූෂණ කොමිෂන් සභාව සියයට සියයක්ම ස්වාධීන ආයතනයක්. සමහරු හිතනවා නම් අල්ලස් කොමිසමයි, ආණ්ඩුවයි එකයි කියලා ඒක වැරදියි.

අපිට හිතා ගන්නවත් බැරි වුණා ලංකාවේ දූෂණය, අල්ලස කොතරම් ස්ථාපිත වෙලාද කියලා. කුණු ට්‍රැක්ටරයට සල්ලි දුන්නේ නැත්නම් කුණු ටික ගෙනියන්නේ නෑ.

සමහර පාසල්වල ටීචර්ස් ඩේ එක දවසට සමහර ටීචර්ලා සාරි හතළිහ ගෙදර ගෙනියනවා. සාරියක් දෙන්න විදිහක් නෑ කියලා දෙමාපියෝ දරුවාට කිව්වොත් දරුවා ඉස්කොලෙ යන්නත් බෑ කියමින් සාරිය ගෙනියන්න අඬා වැටෙනවා. මේ තරම් සමාජය තුළ දූෂණය ව්‍යාප්ත වෙලා. මේ රට ගොඩ නැඟෙන්න නම් රටේ ජනතාව තුළ විශාල ආකල්පමය වෙනසක් ඇති විය යුතුයි. එසේ වුවහොත් ඉදිරි වසර පහ තුළ රටේ විශාල වෙනසක් කළ හැකි යැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *