පොලිස් සැරයන්ගේ නිවසින් පාතාලයකුගේ අවි ආයුධ හමු වෙයි –

ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරමින් සිටියදී වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යැවූ පොලිස් සැරයන්වරයකුගේ කෑගල්ල නිවසේ සඟවා තිබූ, ආමි සම්පත් නමැති පාතාල අපරාධකරුට අයත් බව කියන ආයුධ සහ පතොරම් තොගයක් කෑගල්ල විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් සොයාගෙන ඇත.

ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ මෙම සැරයන්වරයා පිළිබඳව සැකයක් මතු වීම නිසා ඔහු ඉකුත් ඔක්තෝබර් මාසයේ පෑලියගොඩට මාරු කළ නමුත් ඔහු එහි සේවයට වාර්තා කර නැති බවයි.

මොහුගේ නිවසේ ආමි සම්පත්ට අයත් අවි ආයුධ සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය වැටලීම සිදුකළ අවස්ථාවේ එහි තිබූ ගල්කටස් තුවක්කුවක කොටස්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ, විදෙස් රටක නිෂ්පාදනය කළ රිවෝල්වරයක උණ්ඩ ඇතුළු තවත් උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

සැකකාර සැරයන්වරයා සතුව කලින් සේවය කළ ජනාධිපති ආරක්ෂක අංශයේ හැඳුනුම්පත තිබී ඇති අතර එම ස්ථානයෙන් මාරු කළ දින සිට පෑලියගොඩ සේවයට වාර්තා කිරීමට ගොස් නැත.

ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන සමයේ සැකකරු විවිධ අන්දමේ පුද්ගලයන් ඇසුරු කර ඇති අතර ඔහු පිළිබඳව පහළ වූ සැකය මත මෙසේ මාරුකර යවා ඇතැයි පොලිසිය පවසයි.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ මහතාගේ මෙහෙයවීමෙන් කෑගල්ල පොලිස් අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *