ලංකාවේ පළමු වරට, භික්ෂුණීන්ට, භික්ෂුණියන් ලෙස ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙතෙක් භික්ෂුණීන් වහන්සේලාට නිල නීතිමය පිළිගැනීමක් ලැබී නොතිබුණු අතර, භික්ෂුනීන් වහන්සේලාට එවැනි පිළිගැනීමක් ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් ඉල්ලීම් කරමින් තිබුණා.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සහ විනිසුරු ගාමිණී අමරසේකර මහතා එකඟත්වය ලබාදුන් බහුතර තීන්දුවක් ලෙස එම තීන්දුව ලබා දී තිබුණා.

භික්ෂුනීන් වහන්සේට හැඳුනුම්පත් ලබා නොදීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1) වගන්තිය උල්ලංඝනය කර ඇති බව එහිදී තීන්දු කර තිබෙනවා.

වැලිමඩ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ සහ රන්ගිරි දඹුලු පාර්ශ්වයේ විහාරාධිපති හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙහෙණින් වහන්සේ සිය පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ දඹුල්ල රන්ගිරි රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් තහවුරු කිරීමක් ලබා නොගෙනම පෙත්සම්කාරියගේ ජාතික හැඳුනුම්පතට “භික්ෂුණී” යන නාමය ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.

එමෙන්ම මෙය පැහැදිලි ලෙස වෙනස් කොට සැලකීමක් බව විනිසුරු අමරසේකර සිය තීන්දුවෙහි සඳහන් කර තිබුණා.

ඇය පුරුෂ භික්ෂුවක වූයේ නම් මෙලෙස හැඳුනුම්පත ලබා ගැනීම අසීරු නොවන බව එම තීන්දුවෙහි සඳහන් කර තිබුණා.

කෙසේවෙතත්, උක්ත බහුතර තීන්දුවට පටහැනි තීන්දුවක් ලබා දෙමින්, විනිසුරු මහින්ද සමයවර්ධන පෙත්සම නිෂ්ප්‍රභ කරමින් තීන්දුව ලබා දී තිබෙනවා.

ඔහු සිය තීන්දුවෙහි සඳහන් කළේ අදාළ ආගමික බලධාරීන්ගේ විෂය පථයට අයත් ආගමික කාරණාවලට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වීමෙන් වැළකිය යුතු බවයි.

1998 සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව භික්ෂුණි යන හැඳින්වීම සහිත හැඳුනුම්පත් ඉදිරිපත් කර තිබෙන බව පෙත්සම්කරුවන් තර්ක කර තිබුණා.

නමුත් පසුකාලීනව ‘සිල් මාතා‘ යනුවෙන් බෞද්ධ භික්ෂුනීන්ට හැඳුනුම්පත් ලබා දී ඇති බවත්, භික්ෂුණී නාමය යොදා නොගැනීමට තාර්කික පදනමක් නොමැති බවත් ඇය සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *