රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් 2019 වසරේදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී අමානුෂික වධ හිංසාවලට ලක් කිරීම තුළින් ඌරගස්මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය බදාදා (ජූනි 18) නියෝග කළේ, ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි සහ නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බව ය.
එම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බව ද තීන්දුවේ දැක්වේ.
එමෙන් ම, මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වග උත්තරකාර නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යොමු කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.
මත්තක ප්‍රදේශයේ පදිංචි පී.ඒ.එස්. මධුෂාන් නමැත්තෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්.තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.