ශ්‍රි ලාංකිකයින් ලංකාවට එවන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 17%කින් ඉහළ යයි

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බව සඳහන්ය.

මේ වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 6.3ක් වන අතර එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. 

මේ අතර අප්‍රේල් මාසයේ උත්සව සමයේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත්ව තිබේ.

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මඟින් පිළිඹිබු වන පරිදි ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මැයි මාසය තුළ දී විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *