ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න යන සැකකාර වෛද්‍යවරිය එකම රෝගියාට සැත්කම් 7,8ක් කර ඇතත් ඒ එකම රෝගියකු හෝ සුවවී නොමැති බවත් 70%ක් පමණ රෝගීන් මියගොස් ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ දැන්වීය.
එම වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීමක් සලකා බැලූ අවස්ථාවේදී එම කොමිසමේ විමර්ශන නිලධාරීන් මහේස්ත්‍රාත්වරිය හමුවේ මේ බව පසුගිය දා (4) දින සඳහන් කළහ. අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එදින විත්තියේ නීතිඥවරුන්ට නියම කළාය.
සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද මෝසමක් ඉදිරිපත් කරමින් සිද්ධියට සම්බන්ධව කරුණු දැක්වීමක් සිදු කළේය.
‘ස්වාමීනී මගේ සේවාදායිකාවට එරෙහිව චෝදනා තුනක් තිබෙනවා. ඒ වාර්ෂික ඇස්තමේන්තුවට ශල්‍ය අයිතම ඇතුළත් නොකිරීම, නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ශල්‍ය අයිතම ලබා ගැනීම, රෝගී පාර්ශ්ව වෙනත් තෙවන පාර්ශ්වයන් වෙත යොමු කරමින් ශල්‍ය අයිතම ලබා ගැනීමට සලස්වා වාසියක් අත්කර ගැනීම. මේ සිද්ධිය සම්බන්ධව පැමිණිල්ල කරලා තියෙන්නේ 2023. ස්වාමීනී ඔබ දන්නවා 2020 වසරේ සිට මේ රටේ තිබූ තත්ත්වය. 2020, 2021, 2022, 2023 රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබු කාලයක්. ඒ වගේ පසුබිමකයි මේ සිද්ධිදාමය වෙලා තියෙන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයත් මේ කාලයෙ ලොකු කඩාවැටීමකට ලක්ව තිබුණා. පිටතින් ඖෂධ, ශල්‍ය උපකරණ මිලිදී ගැනීමේ කිසිම වරදක් නෑ. මේක ඉතාම අපහැදිලි චෝදනාවක්. සුදුසු ඕනෑම කොන්දේසියක් මත මගේ සේවාදායිකාව ඇප මත මුදා හරින ලෙස මම ඉල්ලා සිටිනවා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් ඇප ඉල්ලීමට විරෝධය පළ කරනු ලැබිය.
‘ස්වාමීනී, මේ පළමු සැකකාරිය දීර්ඝ විමර්ශනයකට පසුවයි අත්අඩංගුවට ගත්තේ. ස්වාමීනී රෝහල්වලට අවශ්‍ය ඖෂධ, ශල්‍ය අයිතම ලබා ගැනීමේ ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. ඒ වාර්ෂික ඇස්තමේන්තු කැඳවීම, ප්‍රාදේශීය වශයෙන් ඇස්තමේන්තු කැඳවීම, හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම. ස්වාමීනී හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය යටතේ යම්කිසි මිලදී ගැනීමක් සිදු කරන විට ඊට ටෙන්ඩර් කැඳවීමක් සිදු කිරීම අවශ්‍ය නෑ. පැය දෙකක් වගේ කාලයක් තුළදී අදාළ සැපයුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ස්වාමීනී මේ පළමු සැකකාරිය නිලාවේලී ප්‍රදේශයේ ප්රිජෙන්ට් අයිලන්ඩ් රිසෝට් කියලා හෝටලයක් තියෙනවා. ඒකේ වැඩ කරපු සේවකයෙක් තමා මේ සිද්ධියේ තුන්වෙනි සැකකාර ලිපිකරු. මේ EVD යන්ත්‍ර රුපියල් රුපියල් හතළිස් හයදහසක මුදලකටත්, VP SHUNT නවදාස් පන්සීයක මුදලකටත් පිටතින් මේ වන විටත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන අපි වෛද්‍ය විද්‍යාව ගැන තර්ක කරන් නෑ. අපි කතා කරන්නේ දූෂණය නම් වරද සිදුකර තිබෙන බවට මේ සැකකාරිය. මේ සැකකාරිය වෙත එන රෝගී පාර්ශ්ව මැයගේ පුද්ගලික ආයතනය හරහා ශල්‍ය අයිතම ගන්නවා. ඒ මුදල් බැර වෙන්නේ මේ පළමු සැකකාරියගේ පුද්ගලික ගිණුමකට. ඒ නිසයි අපි දූෂණය නම් වරද පළමු සැකකාරිය කර ඇති බව කියන්නේ.’
විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පවසා සිටියේ, සැකකාර වෛද්‍යවරිය සමහර රෝගීන්ට ශල්‍යකර්ම 7,8 කර ඇති බවත් ඉන් 70%ක් පමණ රෝගීන් මිය ගොස් ඇති බවයි.
‘ස්වාමීනී මේ සැකකාරිය එකම රෝගීයාට ශල්‍යකර්ම 7,8 කර ඇති බව විමර්ශන වලින් අණාවරණය වෙලා තියෙනවා. හැබැයි ඒ කිසිම රෝගීයෙක් සුවවෙලා නෑ. 70%ක් පමණ රෝගීන් මිය ගිහින්. ඒ වගේම ස්වාමීනී සැකකාරියගේ නිවෙස පරීක්ෂාවට ගියා. නමුත් ඇය දී තිබෙන ලිපිනය ව්‍යාජ ලිපිනයක්. ඇය හිතාමතා විමර්ශන නිලධාරීන්ට ව්‍යාජ තොරතුරු දීලා. අපි කිසිම පාර්ශ්වයක් අගතියට පත් කිරීමේ අරමුණින් විමර්ශන සිදු කරන් නෑ. තවමත් 50ක වගේ පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගන්න තිබෙනවා. විමර්ශන තවමත් සිදු වෙමින් තිබෙන්නේ. සැකකාරියට ඇප ලබාදීමට විරුද්ධයි ස්වාමීනී.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නඩුකරය ලබන 08 වැනිදා යළි කැඳවීමට නියමිත බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කියා සිටියාය.
නඩුව ජූලි 8 යළි කැඳවීමට නියමිතයි.