දීර්ඝ කාලයක් රට විනාශය කරා මෙහෙය වූ දේශපාලන සංස්කෘතිය රටෙන් සදහටම ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දරන උත්සාහය අගය කරන බවත්, ශ්‍රී ලංකාවට නව ආරම්භයක අවශ්‍යතාව තදින්ම දැනෙන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
කාදිනල් හිමිපාණෝ මේ අදහස් පළ කළේ පෙරේදා (07) උන්වහන්සේගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් කොළඹ අගරදගුරු නිවෙසේ සංවිධාන කළ උපහාර උත්සවය අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනී, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි. ජනාධිපතිවරයා මෙහිදී පැවැසුවේ පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙස ද කීවේය.
“අපේ රටේ පසුගිය වසර හතළිහක පමණ කාලයේ සිදු වූ අතුරුදන් කිරීම්, මිනීමැරුම්, පාතාල ක්‍රියාකාරකම්, පාස්කු දා ප්‍රහාරය වැනි බිහිසුණු අපරාධ සහ රට තුළ ණය බර පැටවූ දූෂිත ව්‍යාපෘති පිළිබඳව සොයා බලා එවැනි දූෂිත ක්‍රියා ඉදිරියට සිදු නොවන ලෙස වගබලා ගන්නට තවදුරටත් ක්‍රියාකාරී වන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපතිතුමනි, ඔබ වසර හැත්තෑ පහක පමණ කාලයක් අප රටේ ඒකාධිපති වියරුවට ඉඩකඩ සැකසූ දේශපාලන අන්තවාද සමාජයෙන් ඉවත්කර දමන්න වෙර දැරීම අගය කරනවා. මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් මාධ්‍යවේදීන්, දේශපාලන විවේචකයන් සහ අවංකවම මේ රටට ආදරය කළ අය විනාශ කරමින්, දූෂණය රටේ ව්‍යාප්ත කරමින්, ඒකාධිපති ව්‍යවස්ථාවක් ජනිත කරමින්, රට තුළ භීෂණය පතුරුවමින් විවිධ ජාතීන් සහ ආගමිකයන් අතර වෛරය පතුරුවන්නට ක්‍රියා කළා. අප රටේ නොතිබූ ජාති භේදයක් අවුස්සා වසර 30ක විනාශකාරී යුද්ධයකට රට ඇද දමමින් රට විනාශය කරා මෙහෙය වූ දේශපාලන සංස්කෘතිය රටෙන් සදහටම ඉවත් කිරීමට ජනාධිපතිතුමා දරන උත්සාහය අපි අගය කරනවා. අප රටට නව ආරම්භයක අවශ්‍යතාව තදින් දැනෙනවා. වසර 2500කට වඩා අතීතයකට දිව යන බෞද්ධ ශිෂ්ඨාචාරයකටත්, ඉන් ඔබ්බට දිවෙන ප්රාග් ඉතිහාසයකටත් උරුමකම් කියන අප රටේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ද, ඉපැරණි සභ්‍යයත්වය ද, සාමය ද ආරක්ෂා කර රට සෞභාග්‍යය කරා ගෙන යන්න තවදුරටත් උනන්දුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී බෞද්ධාගම ද, ඉන් අපේ සංස්කෘතිය ලැබූ උරුමය ද ආරක්ෂා කිරීම අප කාගේත් වගකීමයි. මේ කාරණාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන දෙන අනුශාසනා ක්‍රියාත්මක කිරීමට වඩා මේ රටේ ජනතාව ඔවුන්ගේ අවශ්‍යතා සපයා ගැනීමට ගෙන යන ආර්ථික අරගලය මධ්‍යයේ ජීවන වියදම අඩු කිරීමටත්, රටේ ඇති කෘෂි, ධීවර හා කම්කරු ආර්ථිකය ගොඩ නඟන්නටත් ඉදිරි සැලසුම් සලසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
පාස්කු දා ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය කුමක්දැයි රටට හෙළිදරවු කරන්න ඔබ පොරොන්දු වූ අධි චෝදක කාර්යලය හැකි ඉක්මනින් ස්ථාපිත කරන්නටත්, මේ පිළිබඳව පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කරන්නටත් යුහුසුළු වන මෙන් ජනාධිපතිතුමන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් එළිදැක්වුණු සමරු මුද්දරය සහ මුල්දින කවරය ද මෙහිදී උන්වහන්සේට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පිළිගැන්විණි.
1947දී කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේදී උපත ලද මැල්කම් රංජිත් හිමිපාණෝ, 1975 ජූනි මස 29 වැනි දින ශුද්ධ වූ සය වැනි පාවුළු පාප් වහන්සේගේ සුරතින් වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේදී පූජක වරම් ලබා ගත්හ. අනතුරුව වර්ෂ 1978 සිට මීසම් සහායක පියතුමකු, වැඩබලන මීසම් සේවක පියතුමකු, දේව ධර්මය පිළිබඳ කථිකාචාර්යවරයකු මෙන්ම දේව ධර්ම නිකේතන මහාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති උන්වහන්සේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ඉන්දුනීසියානු බස ආදී භාෂා රැසක ප්‍රවීණතාව ලබා සිටිති.
1991දී එවකට අගරදගුරුවරයා වූ අතිඋතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් තේවත්තේ ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාවේදී කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුවරයකු ලෙස එතුමාගේ පදවි ප්‍රාප්ත වීම සිදු විය.
අනතුරුව 2009 ජූනි මස 16 වැනි දින කොළඹ පදවියේ අගරදගුරුවරයා ලෙස පත් වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, එයින් වසරකට පසු, 2010 නොවැම්බර් මස 20 වැනි දින ඉතාලියේ සාන්ත ලෝරන්ස් බැසිලිකාවේදී කාදිනල්වරයකු ලෙස පත්වීම් ලදහ. ඒ අනුව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ශ්‍රී ලංකාවේ කාදිනල් තනතුර දැරීමේ ආශීර්වාදය ලත් දෙවන පියතුමා වෙති. උන් වහන්සේ ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද තනතුරු රැසක් හෙබ වූ අතර, ජාත්‍යන්තර රැස්වීම් රැසක සභාපති ධුරය ද දැරූහ.
ජාත්‍යන්තර සම්මාන රැසකින් ද පිදුම් ලද එතුමාණෝ අමෙරිකා එක්සත් ජනපදයේ තෝමස් ඇක්වයිනාස් විද්‍යාලයෙන් ආගමික අධ්‍යාපන ක්ෂේත්රයේ තෝමස් ඇක්වයිනාස් පදක්කම ද, 2008 වසරේ සංස්කෘතික ක්ෂේත්රයේ ජයග්‍රහණ සඳහා ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද 7 වැනි Giuseppe Sciacca ජාත්‍යන්තර සම්මානය ද ලබා ගත්හ. ලේඛකයකු ද වන එතුමා සඟරා සහ පුවත්පත් සඳහා ද ලිපි ගණනාවක් සම්පාදනය කර තිබේ.
මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ සහ ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සුබපැතුම් එක් කළහ.
නායක හිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය, සර්වාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා, වතිකාන අපෝස්තලික මෙහෙයුම් ප්‍රධානී මොන්සිග්නෝර් රොබර්ටෝ ලුකිනි, කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහායක රදගුරු ඇන්තනී ජයකොඩි රදගුරුතුමන් ඇතුළු කතෝලික පියතුමන්ලා, මැති ඇමැතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති, තානාපතිවරුන් ඇතුළු ආරාධිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.