කොළඹ වරායේ බහලුම් තදබදයක් ඇතිවූ අවස්ථාවේදී නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ගනිමින් සිටියදී ඔහු තමාව අමාරුවේ දැමීමට යන්නේදැයි විමර්ශන නිලධාරීන්ගෙන් විමසමින් වෛද්‍යවරයකු මුණගැසීමට වේලාවක් වෙන් කරගෙන ඇති බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීමකට අනුව විමල් වීරවංශ මහතා ඊයේ (09) පෙරවරු 10.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. ඔහුව කැඳවීමට මුල්වී ඇත්තේ ප්‍රශ්නගත බහලුම් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සම්බන්ධ ව්‍යාපාරික ආයතනයකට අයත් බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු විමසීමටය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ කර තිබෙන බව ද එම නිලධාරියා කීය. ප්‍රශ්නගත කන්ටේනර් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ව්‍යාපාරික ආයතනයකට අයත් බව පැවසුවේ කුමන පදනමකින්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විමල් වීරවංශ මහතාගෙන් විමසූ බව ද එම උසස් නිලධාරියා සඳහන් කළේය. වරාය වෘත්තීය සමිති නායකයකුගේ නමක් එහිදී සඳහන් කරමින් ඔහු විසින් ඒ බව සඳහන් කළ බව ඔහු පැවසූ බවත් එම වෘත්තීය සමිති නායකයා ඒ බව සඳහන් කරනු ලැබුවේ මාධ්‍ය හමුවේදී බවත් විමල් වීරවංශ මහතා පවසා ඇති බවත් එම නිලධාරියා කීය. එහිදී විමර්ශන නිලධාරීන් විසින් අදාළ වෘත්තීය සමිති නායකයා විසින් කන්ටේනර් රථ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝවක් පෙන්වා තිබේ. එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතා තමාව හිතාමතා අමාරුවේ දැමීමට යන්නේදැයි විමසමින් ප්‍රකාශ ලබාදීම අතරමඟ නතර කර පිටව ගොස් ඇත්තේ වෛද්‍යවරයකු චැනල් කර ඇති බව සඳහන් කරමිනි.
විමල් වීරවංශ මහතා එසේ පිටව ගොස් ඇත්තේ ඔහු විසින් ඒ වන විටත් පැය දෙකක පමණ කාලයක් තිස්සේ ලබා දුන් ප්‍රකාශයට ද අත්සන් නොතබා බවත් වෙනත් දිනයකදී නැවත ප්‍රකාශයක් දීමට පැමිණෙන බවත් එහිදී ඔහු පවසා ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි විමල් වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට මෙසේ පැවසීය.
“බස්නාහිර පළාත් ආණ්ඩුකාර එක්ස්පෝ ලංකා ආයතනයේ හිමිකරු, දැන් නම් ඔහු කියන්නේ ඔහු ඒකට සම්බන්ධයක් නැහැ කියලා. ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව තමයි මම පවත්වපු මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට අද කැඳවනු ලැබුවේ. ප්‍රකාශය දුන්නාට පසුව කියවා බලා මම අත්සන් කරන්න කලින් ඉහළ නිලධාරියකුට ඒක නැවත යොමු කරන්න කියා ඉල්ලීමක් ආවා. ඉහළ නිලධාරියකුට යවල ආයෙ එයා කියවල ආයෙ එනකන් මට ඉන්න බැරි නිසා මම අත්සන් කරන්න සහ ඕන නම් තව ප්‍රකාශයක් දෙන්න තව දවසක එන්නම් කියන පොරොන්දුව මත මම එතනින් බැහැරව ආවා.“