අවන්හල්වල රාත්‍රී කාලයේ කාන්තාවන්ට සේවය කිරීමට නීතියේ ඇති බාධා ඉවත් කිරීම අරමුණින් 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත මගින් සාප්පු හා කාර්යාල සේවකයින්ට සේවා පහසුකම්, සේවා කාලය, අතිකාල දීමනා සහ නිවාඩු සම්බන්ධ විධිවිධාන නියම කර ඇති අතර එම පනත අනුව කම්කරු විෂය භාර අමාත්‍යවරයාට අදාළ නියෝග නිකුත් කිරීමට බලතල ද ලබා දී ඇත.
දැනට බලාත්මකව පවතින නියෝග යටතේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ යම් සේවිකාවක් නේවාසික හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියකගේ, කාන්තා කබා කාමර සේවිකාවකගේ, කාන්තා ඇඳුම් කාමර සේවිකාවකගේ හෝ කාන්තා වැසිකිලි සේවිකාවකගේ කාර්යයෙහි පස්වරු 6:00ට පසුව සහ පෙරවරු 6:00ට පෙර සේවයෙහි නියුක්ත කරනු ලැබිය හැකි ය.
එසේ වුවද, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන සේවිකාවන් සේවයේ යෙදවිය හැක්කේ රාත්‍රී 10:00 දක්වා පමණක් වන බැවින් ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී ඇතැයි රජය සඳහන් කරයි.
ඒ අනුව, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6:00ට පසුව සහ පෙරවරු 6:00ට පෙර සේවයේ යෙදීමට හැකි වන පරිදි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 3 වන නියෝගය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතය ලබා දෙන ලදී.