නිතර නිතර පාරවල් කඩා කරන සංවර්ධනය වහා නතර කළ යුතුයි – අගමැති හරිනි අමරසූරිය දැනුම් දෙයි

මහා මාර්ග ඉදිකිරීමේදී සහ ජල නළ එළිමේදී වරින්වර මාර්ග කඩා දමා ජනතාව අපහසුතාවට පත්කිරීම සහ මුදල් නාස්තිය නතර කර මෙවැනි සංවර්ධන කටයුතුවලදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මඟින් විධිමත් සම්බන්ධීකරණයක් ඒ සම්බන්ධයෙන් සිදු කරන්නැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (15 ) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය‍.

විමධ්‍යගත අය වැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ග්‍රාම සංවර්ධන සැලැස්ම, පළාත් සභා දිස්ත්‍රික් සම්බන්ධීකරණ වැඩසටහන, 2026 වර්ෂය සඳහා නව ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම, ඩෙංගු රෝගය සහ චිකුන් ගුන්යා රෝග මර්දනය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිවරිය මෙසේද පැවසුවාය.

ව්‍යාපෘති පිළිබඳව හෝ රාජකාරී පිළිබඳව අර අංශයට යොමු කළා මේ අංශයට යොමු කළා කියන එකෙන් වැඩ ඉවර වෙන්නේ නැහැ. කරපු රාජකාරියේ ප්‍රතිඵලය මෙතන වාර්තා වෙන්න ඕනේ. මේ කාර්යාලේ ඉඳලා එහා කාර්යාලයට යැව්වා කියලා වැඩේ ඉවර වෙන්නේ නැහැ.

තාක්ෂණික නිලධාරීන්ගේ පුරප්පාඩු රැසක් තිබෙන බව මෙහිදී අනාවරණය වුණා. සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ආයතනයක් තුළ ඇති වන ගැටලු දිස්ත්‍රික් ලේකම්වරයාට කඩිනමින් යොමු කරන්න. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙන එකට සම්බන්ධීකරණ කමිටුවේ උත්තර හොයන්න එපා. ආයතනවලයි ප්‍රශ්නය තියෙන්නේ.

පොදුවේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් පුරප්පාඩු සහ ආයතනික ගැටලු දිස්ත්‍රික් ලේකම්වරයා හරහා විසඳා ගැනීමට කඩිනම් කරන්න. තාක්ෂණික නිලධාරීන් එකසිය පනහක් බඳවා ගන්න කටයුතු කර තිබෙනවා. අවුරුදු හතරක් බඳවාගැනීම පහු වෙච්ච නිසා ප්‍රශ්නයක් තිබුණා. දැන් බඳවාගැනීම් ආරම්භ කර තිබෙනවා. ආයතනයක එහෙම අඩුපාඩුවක් තියෙනවානම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගන්න. ඒවායේ තාක්ෂණික නිලධාරීන් උදවු කරයි. යෝජිත ව්‍යාපෘති කරන්න පුළුවන්ද බැරිද කියන තීරණය එන්න වැඩි කල් ගන්න එපා.

සම්බන්ධීකරණ කමිටුවේ අරමුණ වෙන්නේ ගැටලුවලට විසඳුම් සෙවීමයි. දැනට හැම ව්‍යාපෘතියකම තිබෙන ප්‍රශ්න ඉදිරිපත් වුණේ මහජන නියෝජිතයින්ගෙන් ඒක අපෙත් වගකීම තමයි. නමුත් නිලධාරීන් මේ ප්‍රශ්න විසඳන්න ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතුයි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ, අසිත නිරෝෂන්, සමන්මලී ගුණසිංහ, දේවානන්ද සුරවීර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න, ජනක කුමාර ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *