මහියංගණය නගර සීමාවේ පිහිටි ශ්‍රී ලංකාවේ දැවැන්තම උළු කර්මාන්ත ශාලාව, රාජ්‍ය-පෞද්ගලික ආයෝජනයක් මඟින් නැවත කාර්යක්ෂම කර්මාන්ත ශාලාවක් බවට පත් කෙරෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අයත් ලංකා පිඟන් සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන මේ ශ්‍රී ලංකාවේ දැවැන්තම උළු කර්මාන්ත ශාලාවේ පසුගියදා (25) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මහියංගණය නගර සීමාව තුළ අක්කර 95ක පමණ භූමි ප්‍රදේශයක් හිමි මෙම උළු කර්මාන්ත ශාලාව 1961 වර්ෂයේ ජර්මන් ආධාර යටතේ ඉදිකර ඇති අතර, මෙහි සේවකයන් 200ක් පමණ සේවය කර ඇත.
දැවැන්ත මැටි නිධියක් හිමි මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ටයිල් කර්මාන්ත ආයෝජනයක් ලෙස සැලකේ.
1980 අවධියේ සිට මේ ආයතනය අකර්මණ්‍ය වී තිබුණත් ලංකාවේ සෑම ප්රදේශයකටම අවශ්‍ය කරන උළු සපයා ඇත්තේ මෙම කර්මාන්ත ශාලාව මඟිනි.
වර්තමාන රජය බලයට පත්වනවිට මේ කර්මාන්ත ශාලාව ඉතාමත් අකාර්යක්ෂම සහ අකර්මණ්‍ය තත්ත්වයක පැවති අතර, සේවකයන්ගේ වැටුප් සහ අර්ථසාධක මුදල් ගෙවා ගැනීමටද නොහැකි තත්ත්වයකට වැටී තිබේ.
කෙසේ වුවද ලක්ෂ 54ක පමණ හිඟ විදුලි බිලක් තිබූ මෙම කර්මාන්ත ශාලාව වර්තමාන සභාපතිගේ නායකත්වය යටතේ, මාසිකව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයකට ගෙන ඒමට හැකි වී ඇත.
ඒ අනුව මෙම භූමියේ උපරිම ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාව සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කෙරෙන අතර, ආයතනයේ දැනට පවතින යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීමට ද සැලසුම් කර තිබේ.
විශේෂයෙන්ම, නීලගිරි චෛත්‍යය සඳහා මාසිකව ගඩොල් 50,000ක් සපයා දීම මෙම කර්මාන්ත ශාලව මඟින් සිදුවන අතර ටයිල්, ටෙරාකොටා සහ බිම් ගඩොල් වැනි නිර්මාණ කිරීමට ද හැකියාව පවතියි.
තවද මූලික අවම ආයෝජන සිදු කර, රාජ්‍ය-පෞද්ගලික දායකත්වය යටතේ මේ කර්මාන්ත ශාලාව මහියංගණය ප්‍රදේශයට ඵලදායී භූමි භාගයක් බවට පත් කිරීම වත්මන් රජයේ අපේක්ෂාවයි.
ඒ අනුව ඉදිරි මාස 06 ඇතුළත මහියංගණයේ ජනතාවට මේ කර්මාන්ත ශාලාවේ වර්ධනයක් දැකගත හැකිවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.