ලංගම ගොඩ ගැනීම වෙනුවෙන් වැඩ කිරීමට තමන් තවමත් ලැහැස්ති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන පැවසීය.
තමන් පඩියක් නොගෙන, නිල වාහන නොගෙන, කාර්යය මණ්ඩලයක් සමග ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගතිය වෙනුවෙන් වැඩක් කිරීමට වුව කැමැත්තෙන් පසුවුවත් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු ඊට සහයෝගය නොදුන් බවත් ඔහු කීය.
මේ වෙනුවෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා තමන්ට විවෘතව ආරාධනා කළත් මේ වන විට ලංගම වෙනුවෙන් වැඩ කිරීම ලත්තැනම ලොප් වී තිබෙන බව ඔහු සඳහන් කළේ ය.
මේ අනුව තමන් තවමත් ලංගම ගොඩ ගැනීම වෙනුවෙන් වැඩ කිරීමට ලැහැස්ති වුවත් එය සිදු වෙන්නේ නැති බව පැහැදිලි වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
ලංකා ගමනාගමන මණ්ඩලය භාර අරගෙන බස් කර්මාන්තය දියුණු කිරීමට බිමල් රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙදී සජබ මන්ත්‍රි ජගත් විතානට පසුගිය මැයි මාසයේ විවෘත ආරාධනයක් කළ අතර ඒ අනුව ඔහු එම ආරාධනය පිළිගෙන එම කටයුත්ත සිදු කිරීමට එකඟ විය.
කෙසේ වෙතත්, ජගත් විතාන මන්ත්‍රිවරයා සඳහන් කරන්නේ මේ වන විටත් තමා වෙත එවැනි වැඩ පැවරීමක් නොකළ බව ය.
ජගත් විතාන මන්ත්‍රිවරයා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරයි.