මෙරට කුකුල් මස් සිංගප්පූරුවට යැවීමට සාකච්ඡා කරයි

මෙරට කුකුළු මස් නිෂ්පාදන සිංගප්පූරුවට අපනයනය කිරීම ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ සිංගප්පූරු ආහාර ඒජන්සියේ (SFA) නියෝජිත කණ්ඩායමක් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ තීරණය ගෙන තිබේ.

කුකුළු මස් නිෂ්පාදනාගාර විගණනයේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුවට කුකුළු මස් නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු ආහාර ඒජන්සිය විසින් මෑතකදී සිදු කරන ලද පරීක්ෂණ මෙහෙයුම් දෙකක් මත මේ තීරණය ගෙන තිබේ. ඒ සඳහා 2024 මාර්තු මාසයේදී සහ ජූලි මාසයේදී මෙරට මහා පරිමාණයේ කුකුළු මස් නිෂ්පාදන සමාගම් කිහිපයක් යොදාගෙන ඇත. එහිදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විගණන සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.

2024දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 5.4ක් වටිනා කුකුළු මස් නිෂ්පාදන අපනයනය කරන ඇත. මෙය 2023 වසරට සාපේක්ෂව 37%ක වර්ධනයක් පෙන්වයි. මාලදිවයින, කටාර්, වියට්නාමය, හොංකොං සහ ජපානය ඇතුළු ගමනාන්තවලට අපනයනය කර තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරුවට කුකුළු මස් අපනයනය කිරීමේ හැකියාව ඇති ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක් ලේඛනගත කර සිංගප්පූරු ආහාර ඒජන්සියට මේ වන විටත් ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *