යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම සියයට 3.3 යි – අවම කාණ්ඩයට සහනය රුපියලක්

පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත විදුලිය ගාස්තු 3.34% අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා.

ලංකා විදුලි බල මණ්ඩලය ඒ බව දක්වා ඇත්තේ, මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දුන් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේයි.

විදුලිය ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලියට ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමග එය මහජන උපයෝගීතා කොමිසම වෙත ලංකා විදුලි බල මණ්ඩලය විසින් යොමු කර තිබෙනවා.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, ගෘහස්ථ විදුලි සබඳතා කාණ්ඩය යටතේ මසකට ඒකක 0 සිට 30 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12ක ගාස්තුව රුපියල් 11ක් දක්වා රුපියලකින් අඩු කිරීමට සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 165 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටයි.

එම කාණ්ඩයේම මසකට ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 27.50 දක්වා රුපියල් 02.50 කින් අඩු කිරීමටත්, ඊට අදාළව මෙතෙක් රුපියල් 360ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 330 දක්වා රුපියල් 30 කින් අඩු කිරීමටත් යෝජිතයි.

ගෘහස්ථ ඛාණ්ඩය යටතේම මසකට කිලෝවොට් පැය 60ට වඩා විදුලිය පරිභෝජනය කරන පිරිස් සඳහා ද විදුලිය ගාස්තු අඩු කිරීමක් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, මසකට ඒකක 0 සිට 60 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 38ක ගාස්තුව රුපියල් 37 දක්වා රුපියලකින් අඩු කිරීමට යෝජිතයි.

ඒකක 61 සිට 90 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 41 සිට රුපියල් 39 දක්වා රුපියල් 02 කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 455 දක්වා රුපියල් 25කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 59 සිට රුපියල් 56 දක්වා රුපියල් 03කින් අඩු කිරීමටත්, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 1,180 සිට රුපියල් 1,120 දක්වා රුපියල් 60කින් අඩු කිරීමටත් යෝජිතයි.

ඒකක 121 සිට 180 දක්වා අය දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 59ක ගාස්තුව රුපියල් 57 දක්වා රුපියල් 02කින් අඩු කිරීමටත්, ඊට අදාළව රුපියල් 1,770ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 1,700 දක්වා රුපියල් 70කින් අඩු කිරීමටත් යෝජනා කර තිබෙනවා.

මේ අතර, ආගමික සහ පුණ්‍යායතන කාණ්ඩය යටතේ මසකට ඒකක 0 සිට 30 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12ක ගාස්තුව රුපියල් 11 දක්වා රුපියලකින් සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට රුපියල් 165 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටත් යෝජිතයි.

එමෙන්ම, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, අනෙකුත් පාරිභෝගික කාණ්ඩ යටතේ ගැනෙන කර්මාන්ත සහ හෝටල් සඳහා ද විදුලිය ගාස්තු අඩු කිරීමටයි.

ඒ අනුව, කර්මාන්ත කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට අඩුවෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 20ක ගාස්තුව රුපියල් 19.25 දක්වා ශත 75කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 340 සිට රුපියල් 325 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටත් යෝජනා කර තිබෙනවා.

කර්මාන්ත කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට වැඩියෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 28ක ගාස්තුව රුපියල් 26.75 දක්වා රුපියලයි ශත 25කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 1,120 සිට රුපියල් 1,070 දක්වා රුපියල් 50කින් අඩු කිරීමටත් යෝජිතයි.

එමෙන්ම හෝටල් කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට අඩුවෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 20 ක ගාස්තුව රුපියල් 19.25 දක්වා ශත 75 කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 340 සිට රුපියල් 325 දක්වා රුපියල් 15 කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *