මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ වැඩකටයුතු සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, මධ්‍යම අධිවේගී මාර්ගය පළමු අදියර වෙනුවෙන් සිය ඉඩම් අහිමි වූවන් වෙනුවෙන් නව ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
ඊයේ (07) පෙරවරුවේ බත්තරමුල්ල “මගනැගුම මහමැදුර ” ශ්‍රවණාගාරයේ පැවති මෙම අවස්ථාවට ඉඩම් හිමිකම්ලාභීහු 16 දෙනෙක් සහභාගී වූහ.
“අභිනවයෙන් පාලන බලයට ආව අපි බාරගත්තේ, නැවතුන රජයක්. ඒ වෙනකොට පැවතුන රටේ කඩාවැටීම මත කිසිම ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වාතාවරණයක් තිබුණේ නැහැ. ඒ වගේ අවස්ථාවක අලුතෙන් යමත් ආරම්භ කිරීමට ගතවන කාලය වැඩියි. ඒකට හේතුව තමයි ගැටලු රාශියක් නිරාකරණය කරගෙන තමයි වැඩක පටන් ගන්න වෙන්නේ. මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතියටත් එවැනි ගැටලු රාශියක් තිබුණා. කොන්ත්‍රාත් පිරිනමන සමාගම, ණය ලබාගන්නා බැංකුව, ව්‍යාපෘති අවසන්වන කාලය ආදි කරුණු කාරණා රාශියක් පිළිබඳව තීන්දු තීරණ ගන්න අවශ්‍ය වුණා. මේ වනවිට ඒ සියල්ල ක්‍රමානුකූලව විසඳා ගනිමින් තිබෙනවා. ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ පළමු මීටර් 500 වැඩකටයුතු ඉදිරි මාස 02 ක තුළ, එනම් සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට කටයුතු කරනවා “යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
මෙහිදී නියෝජය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැමිණ සිටි පිරිස අමතමින් …,
” කඩවත – මීරිගම , මීරිගම – කුරුණෑගල, පොතුහැර – රමුක්කන, රඹුක්කන – ගලගෙදර වශයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් 4 කින් සමන්විතයි. අධිවේගී මාර්ග ඉදිකිරීම කියන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඉටුවිය යුතුම කාර්යයක්. අපි රජයක් හැටියට බලයට පත්වෙලා මේ වනවිට මාස 10 කට ආසන්න කාලයක් ගතවෙලා. කෙනෙකුට අහන්න පුලුවන් මේ වෙනකල් ඇයි සංවර්ධන ව්‍යාපෘති ඉටුකරන්න බැරි උනේ කියලා. නමුත් මේ වනවිට අපි යම්කිසි සාධනීය තැනකට පැමිණිලා තිබෙනවා.”
දැනට වසර 10 කට එනම් 2015 දී තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ මූලික කටයුතු ආරම්භ වෙන්නේ. මෙම කර්තව්‍යය මීට ගොඩක් කලින් කරන්න තිබුණ දෙයක්. නමුත් තවමත් අපට අධිවේගී මාර්ගයේ ප්රතිලාභ අත්විඳින්න ජනතාවට දෙන්න බැරිවෙලා තිබෙනවා. තමන්ගේ පාරම්පරික අයිතීන් ජාතික වැඩපිළවෙළක් වෙනුවෙන් පරිත්‍යාග කිරීම වෙනුවෙන්, අපි ඔබතුමන්ලාට ස්තුති වන්ත විය යුතුයි. ඒ වෙනුවෙන් මේ ආකාරයෙන් හිමිකම් ඔප්පු ලබාදීම, රජයක් වශයෙන් විශේෂ වගකීමක්. ජාතික සංවර්ධනයට උරදුන් පිරිසක් හැටියට ඔබතුමන්ලාට සතුටු වියහැකියි යැයි පැවසීය.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ප්රමුඛ පාර්ලිමේන්තු මැති ඇමතිවරු ද, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරිය සභාපති ප්රමුඛ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.