රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හිටුවයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (අගෝස්තු 11) දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ඇති වූ එකඟතා සම්බන්ධයෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර සලකා බැලීමෙන් පසුව මෙම තීරණයට එළඹුණු බවයි එම සංගමය ප්‍රකාශ කළේ.
වැඩ වර්ජනය අත්හිටුවීමට හේතු
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා දීමටත්, ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍යාංශය එකඟ වී තිබෙනවා. මෙම එකඟතා ක්‍රියාත්මක වන ආකාරය සමීපව නිරීක්ෂණය කරමින් ඉදිරි පියවර තීරණය කිරීමට GMOA සංගමය අපේක්ෂා කරනවා.
පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ගැටලුව
මේ අතර, අක්‍රමවත් සහ දෝෂ සහිතව ප්‍රකාශයට පත් කර ඇති පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව නිවැරදි කිරීමේ ක්‍රියාවලිය වහාම ආරම්භ කළ යුතු බවත්, නිවැරදි කරන ලද ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ලැයිස්තුවට අයදුම් කිරීමෙන් වළකින ලෙසත් GMOA සංගමය සියලුම පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම තීරණය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස සලකනු ලබනවා.