අරුවක්කාඩු ඉල්මනයිට් සේදිමේ ස්ථානය කිසිම බයක් නැතිව නීත්‍යනුකූල අවසරයක් පවා නොමැති වටපිටාවක පවත්වාගෙන ගොස් ඇත්තේ හිටපු චාමර සම්පත් දසනායක ඇමැතිවරයාගේ ඝෘජු මැදිහත්වීමෙන් බවට තහවුරු වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායක ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අදාළ භුමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඊයේ (12) පැවසීය.
විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පුරා විද්‍යා අධි සංවේදී පරිසර කලාපයක පිහිටා ඇති මේ ඉල්මනයිට් සේදීමේ ස්ථානය කිසිම බයක් නැතිව මේ තරම් හානිදායක ලෙස පවත්වගෙන යාම සිදුව ඇත්තේ අදාළ දේශපාලනඥයන් විසින් තම හිතුමතයට මේ ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් බවත් ඒ නිසාම රාජ්‍ය නිලධාරීන්ට පවා මෙවැනි ව්‍යාපෘති පිළිබඳව තීරණ ගැනීමට පවා වාතාවරණයක් නොතිබී ඇති බවත් ඔහු පැවසීය.
එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.
“අපි මේ ස්ථානයට සම්බන්ධ වන්නේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබෙන සිමෙන්ති සංස්ථාවට අයිති භුමියක් වීම හේතුවෙන්. දැනට සිමෙන්ති නිෂ්පාදනය කරන ඉන්සි සිමෙන්ති සමාගම සිමෙන්ති නිෂ්පාදනයට හුනුගල් ලබා ගැනීමට පෙර තිබෙන පස් තට්ටුවේ තමා මේ ඉල්මනයිට් සාන්ද්‍රණය යොදා ගනිමින් මේ ස්ථානයේ ඉල්මනයිට් සේදීමට කටයුතු කර තිබෙන්නේ.
මේ ඉල්මනයිට් සැකසීමේ කර්මාන්තයට සිමෙන්ති සංස්ථාවෙන් ඉඩම් ලබා ගැනීමේදි කැබිනට් අනුමැතියක් අරගෙන නැහැ. නීතිපතිගෙන් අනුමත කරගෙන නැහැ. තනි කැමැත්තට ඩොලර් පනස් දාහක් ලබාදීමෙන් නියමු ව්‍යාපෘතියක් විදිහටයි කරන්නේ. නියමු ව්‍යාපෘතියක් අවුරුදු 30ක කාලයට කරන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු අපි අනාවරණය කර ගත්තා මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය, පුරා විද්‍යා අංශවල අවසරයක් නැතිව මේ පරිසරය සකස් කර තිබෙන බවට. තමන්ට මේ සඳහා අනුමැතිය ලැබෙනවායැයි කියන පූර්ව නිගමනයක සිටයි හිතුමතේට කටයුතු කර තිබෙන්නේ.
ඒ නිසා මේ කටයුත්ත පිටුපස චාමර සම්පත් ඇමැතිවරයා හිටියා කියන එක තහවුරු වී තිබෙනවා. ඒ ඇමැතිවරයාගේ බලය යොදා ගනිමින් මේ ආයතනය කටයුතු කර ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙය විල්පත්තුව ජාතික වන උද්‍යානය ආසන්නයේ තිබෙන නිසා එය ආරක්ෂා වන ලෙස කටයුතු කර නැහැ. එය බරපතළ දෙයක්. ඒ නිසා මේ ඉල්මනයිට් නිසි නීත්‍යනුකූල රාමුවෙන් ලබා ගැනීමට හැකි නම් සියලු පාරිසරික සාධකවලට නීත්‍යනුකූල ලෙස අවනත වෙමින් එය කරන්න අපි මැදිහත් වෙනවා යැයිද පැවසීය.
මොකද ලෝකය මේ වන විට ප්‍රාග්ධන උපයා ගන්නේ විවිධ ඛනිජවලින්. ඒ නිසා මේ සම්පත නිසි ලෙස කිරීමේ හැකියාව පවතිනවා ද යන්න අපි සොයා බලමින් පවතිනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී නිසි අධ්‍යයනයක යොමු වෙන්න කටයුතු කරමින් සිටිනවා. අනෙක් කරුණ තමා රටපුරා ඛනිජ සම්පත් කුමන ලෙසකින් ද භාවිත කරන්නේ. එය කුමන ලෙසකින් ද රටකට ගැළපෙන්නේ කියා ජාතික ප්‍රතිපත්තියක් සකසා එම ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන්න අපි සුදානම් වෙමින් සිටියදී තමා මේ කටයුත්ත දැන ගත්තේ. පසුගිය කාලයේ සිදුවු දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් මෙවැනි පරිසර පද්ධති වනසා දමන්න අපි ඉදිරියේදී ඉඩ ලබා දෙන්නේ නැහැ. එය එක්කෙනකුට දෙන්නකුට වුවමනා ලෙස කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ වැටලීම් කළ වලාන පොලිස් කණ්ඩායමට මෙය හෙළිකළ මාධ්‍යයට අපි ස්තුති කරනවා යැයිද පැවසීය.