පාතාලයට,කුඩු ජාවාරමට හවුල් දේශපාලකයන්ට නීති පියවර කඩිනමින් – පොලිස්පති කියයි

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට නීති දැඩි කිරීමට පියවර ගන්නා බව නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් ඊයේ (14) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වැනි පොලිස්පතිවරයා වශයෙන් නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (14) උදෑසන පොලිස් මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය. මෙහිදී අභිනව පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් මූලස්ථානය මඟින් සම්මාන පෙළපාළියක් පවත්වා පොලිස් උත්තමාචාරය පිරිනමන ලද අතර ඉන් අනතුරුව සර්ව ආගමික ආශිර්වාදය ලබා ගනිමින් ධුරයේ වැඩ භාර ගැනීම සිදු විය. පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයන් මේ වනවිටත් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.

මත්ද්‍රව්‍ය සහ අපරාධ ක්‍රියාකාරකම් මැඬපැවැත්වීමට විශේෂ වැටලීම් පවතින නීති යටතේ දිගටම කරගෙන යා නොහැකි බව ජනාධිපතිවරයා, අධිකරණ ඇමැතිවරයා සහ මහජන ආරක්ෂක ඇමැතිවරයාට දැනුම් දී ඇති බවද කීවේය.

වැඩිදුරටත් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේද පැවසීය.

ගෞරවනීය පොලිස් සේවයේ ඒ ප්‍රෞඩත්වය නැවත ගෙන එන්න කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා. ගෞරවනීය පොලිස් සේවයේ පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස්පති ධුරය දක්වා මා පැමිණි දිගු ගමනේ මා හැදූ වැඩූ මගේ මවුපියන් සහ සහෝදර සහෝදරියන් මා හැදූ පාසල් ගුරු මෑණිවරුන් පියවරුන් මෙන්ම මට උසස් අධ්‍යාපනය ලබා දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය, කළමනාකරණ පීඨය, ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ගෞරවනීය ආචාර්ය මණ්ඩලයට, නන් අයුරින් සහයෝගය දක්වන සියලු පොලිසියේ සහ රාජ්‍ය නිලධාරීන්ට ද, දැන් විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ද, විශ්‍රාම ගොස් සිටින සියලු පොලිස්පතිවරුන්ට ද නිදහස් අධ්‍යාපනය යටතේ මා මේ තැනට පත් කිරීමට මංපෙත් හදා දුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහජනයා වැය කරන මුදල් ශ්‍රී ලංකා පොදු ජනතාවගේ මුදල් සම්බන්ධයෙන් ද මහජනතාවට වගවීමක් සහ වගකීමක් මට පැවරී තිබෙනවා.

මා පොලිස්පති ධුරයට පත් කළ ජනාධිපතිතුමාට මෙන්ම මා එම තනතුරට පත් කරන ලද පාර්ලිමේන්තු ව්‍යාවස්ථා සභාවට ද මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම වන බයක් නැතිව විශ්වාසයකින් ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම යථාර්ථයක් කිරීමට මා ඇතුළු සියලු තරාතිරම්වල නිලධාරීන්ගෙන් ඉහළම කාර්ය සාධනයක් බලාපොරොත්තු වෙනවා. නිලධාරීන්ගෙන් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන රාජකාරී කටයුතු නිලධාරීන් වෙත ලබා දිය යුතු යටිතල පහසුකම් පරිපාලන ගැටලු එමෙන්ම නිලධාරීන්ගේ සුබසාධනය සෞඛ්‍ය, ඒ වගේම මා වැඩියෙන්ම බලාපොරොත්තු වන අපේක්ෂිත හැසිරීම විනයානුකූල පොලීසියක් හැදීම මා ඉහළ අගයකින් සලකනවා.

අපි දකිනවා සාමාන්‍ය නීතිය යටතේ මේ මෙහෙයුම කරන්න බැහැ කියලා. ඒ නිසා ජනාධිපතිතුමාටත් මහජන ආරක්ෂක ඇමැතිතුමාටත් අපි දැනුම් දී තිබෙනවා ඒ සඳහා නීති ප්‍රඥප්ති සැකසීම අවශ්‍යයි. ඒ නීති ප්‍රඥප්ති සකස් කරමින් පවතිනවා. ඔවුන්ට සාධාරණ සමාජයක් සඳහා මේකට එකඟ වෙන්න බැරිනම්, සාමකාමී වටපිටාවක්, දූෂණයෙන් වංචාවෙන් තොර දේශපාලන වටපිටාවකට ඔවුන්ට අනුගත වෙන්න බැරිනම් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න නව නීති ප්‍රඥප්ති අවශ්‍යයි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය උපරිමයෙන් ලැබෙනවා. ජාත්‍යන්තර විශ්වාසය ශ්‍රී ලංකා පොලීසිය උපරිම වශයෙන් මේ වෙනවිට තහවුරු කර තිබෙනවා. පොලීසියෙන් ඈත්වෙලා ගිය මේ වන විට වෙනත් රාජ්‍යයන්වල සිටින ජාත්‍යන්තර කටයුතු අපි ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ වැඩිවන වෙඩි තැබීමේ සිදුවීම් ඇතුළුව අපරාධ සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට පවත්වන මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට පවතින නීතිවල ඇති අඩුපාඩු හඳුනා ගනිමින් සිටිනවා.

මේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිටුපස සිටින සමහර පුද්ගලයන් විදේශ රටවලට පලා ගොස් රැකවරණය පතා තිබෙනවා. ඔවුන් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ සහචරයන් හරහායි. සන්නද්ධ හමුදාවන්ගෙන් පලා ගිය සමහරුන් සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් පවා සිටිනවා. මේ සියල්ල විසඳීමට අපි පියවර ගනිමින් සිටිනවා.

අපි කොච්චර නීතිය ක්‍රියාත්මක කළත් මාරාන්තික රිය අනතුරු බරපතළ රිය අනතුරු දිනෙන් දින වැඩිවෙනවා. ඒකට යම් යම් හේතු තිබෙනවා. ඒ හේතුවලට නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොවෙයි, මිනිසුන්ගේ ආකල්පමය වෙනසකුත් අවශ්‍යයි. මහජනතාවට තමන්ගේ දරුවටත් තමාගේ පියා මව අහිමිවෙනවා. සහෝදරයා අහිමි වෙනවා. මේ රිය අනතුරු හේතුවෙන්. යුද කාලවලට වැඩිය ජීවිත අහිමි වෙනවා. සමහර අය සදාකාලික අබ්බගාත වෙනවා. තුවාල ලබනවා. ඔවුන්ගේ පවුල්වල ආර්ථික හා සමාජයීය බිඳ වැටීමකට ලක් වෙනවා. රජයෙන් විශාල වියදමක් මේ වෙනුවෙන් කරනවා. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලනවා තමන්ගේ කටයුතු තමන්ගේ ප්‍රවාහන කටයුතු අවශ්‍ය පරිදි කර ගැනීමේදී ආරක්ෂාව ගැන පළමුව හිතන්න. තමන්ගේ දරුවා ගැන හිතන්න. තමන්ගේ පවුල ගැන හිතන්න. ආරක්ෂිතව ගමන ගිහින් එන්න. අපට මාර්ග විනය හදන්න පුළුවන්. ඔබ ක්‍රියාකරන ආකාරයට තත්පරයෙන් තත්ත්පරයට අනුගත වෙන්න බැහැ. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේකත් ව්‍යසනයක්. මේ ව්‍යසනයට ජනතාවගේ සහයෝගය දායකත්වය කැපවීම අපි බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ අනාගතය බලන්නේ දරුවන්ගෙන්. දරුවන්ට රට බලාගන්න ක්‍රමයක් අපි හදාගෙන යනවා. ශ්‍රී ලංකා පොලීසියේ වගකීම නොවුණත් 14000ක් ඉන්නවා අවදානම් සහිත දරුවන්. ඒ දරුවන් ගැන අපි සංගණනයක් කර තිබෙනවා. ඒ සෑම දරුවෙක් ළඟටම පොලීසිය ගිහින් තිබෙනවා. ඔවුන් රැක බලා ගන්න ක්‍රමවේදයක් අපි හදා තිබෙනවා. එය අපේ සමාජයේ අනාගතයට කරන ඉතුරුවක්. ඒ දරුවන් රැක බලාගන්න අවශ්‍යයි. සමාජයෙනුත් අපි ඒ ඉල්ලීම කරනවා.

අපි දැනට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. නීතියේ යම් යම් අඩුපාඩු සකස් කරමින් පවතිනවා. නිවට නියාලු අපරාධකාරයන් පිරිසක් තමන්ට මුහුණ දෙන්න බැරිව තමන් ජාතක කරපු නමින් පෙනී ඉන්න බැරි පිරිසක් විදෙස් රටවල ඉන්නවා. ඔවුන් සමඟ සම්බන්ධිකරණය වුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් පිරිසක් ඉන්නවා. ඔවුන් මෙහෙයවන දේශපාලනයක් තිබෙනවා. ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය අය ඉන්නවා. මත්ද්‍රව්‍ය ජාවාරමට හසුවෙච්ච කොටසක් ඉන්නවා. පොලීසියෙත් යම් නිලධාරීන් ඉන්නවා. මහජනතාවගෙන් පිරිසක් තමයි මේ ඉන්නේ. පොලීසියෙත් අපි දකිනවා අඩුපාඩු. ඒ අඩුපාඩු සකස් කරගෙන පොලීසියේ ඉන්නවා නම් ඒ සම්බන්ධ අය පළමුවෙන්ම පොලීසිය ක්ලීන් කරන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය උපරිම කටයුතු කරමින් පවතිනවා. ඒ කටයුතු කරන්න සමාජයේ සෑම දෙනෙක්ගෙන්ම අපට සහයෝගය දායකත්වය ඉල්ලනවා. පොලීසියට ක්‍රියාත්මක වෙන්න බැහැ, මහජනතාවගෙන් තොරව. මහජන විශ්වාසයකින් තොරව පොලීසිය ලෝකයේ ක්‍රියාත්මක වෙලා නැහැ.

විවිධ ආකාරයෙන් සමාජයේ ආයුධ සංසරණය වෙලා තිබෙනවා. ත්‍රිවිධ හමුදාවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් හම්බ වුණු ආයුධ තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ යම් යම් අවස්ථාවල පන්නපු ආයුධ තිබෙනවා. පොලීසියෙන් බැහැර වුණු ආයුධ තිබෙනවා. පොලීසියේ ඒවා සම්බන්ධයෙන් මම දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන කටයුතු භාර දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සම්බන්ධයෙන් හසුවුණු සෑම පොලිස් නිලධාරීයෙක් සම්බන්ධයෙන්ම අපි සේවයෙන් අයින් කරන්න කටයුතු කරනවා. ඒ නිසා මට මේ අවස්ථාව ලබාදීමට වචනයෙන් හෝ මා ධෛර්යමත් කළ සෑම නිලධාරියකුටම සෑම තැනැත්තකුටම මගේ හෘදයංගම ස්තුතිය ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් රැසක් ද පොලිස්පතිවරයාගේ පවුලේ ඥාතීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *