මෙතෙක් මෙරට සංවර්ධනය වුණේ නැති ඒ කාණ්ඩයට අයත් එකම මාර්ගය මේ දිනවල නවීකරණය කෙරෙමින් පවතිනවා.
රක්වාන සිට දෙණියාය හරහා ගාල්ල දක්වා දිවෙන මෙය ඓතිහාසිකත්වයෙන් මෙන්ම සුන්දරත්වයෙන් අනූන මෙරට ප්‍රමුඛතම මාර්ගයක්.
සිංහරාජ වනාන්තරයට මායිම්ව වසර 130කට පමණ පෙර සුදු ජාතිකයන් ඉදිකළ වංගු දහයේ පැරණි මාර්ගය සංවර්ධනය කිරීම ඇරඹුනේ විශාල මුදලක් වැය කරමින්.
මෙම මාර්ගයේ විශේෂතා රැසක් පවතිනවා. ඓතිහාසිකත්වය ඒ අතුරින් මුල් තැන ගන්නවා.
ඉංග්‍රිසි පාලකයන් මෙම මාර්ගය ඉදිකිරීමට භාරදී තිබුණේ හේස් නැමැති ඉංජිනේරුවරයාටයි. ඔහුගේ බිරිඳ ද ඉංජිනේරුවරියක්.
දැඩි කඳු බෑවුම් සහිත ප්‍රදේශයක මාර්ගය ඉදිකිරීමට තිබු බැවින් හේස් එම අභියෝගයෙන් ඉවත් වුණා. ඉන්පසුව එම වගකීම භාර ගන්නා ලද්දේ ඔහුගේ බිරිඳ විසිනුයි.
ඇය මෙම මාර්ගය ඉදිකළ නිසා හේස් ලෝඩඩේල් යනුවෙන් ද මෙම මාර්ගය හඳුන්වනවා.
රක්වාන කලු පාලම මෙම මාර්ගයේ පිහිටා ඇති අතර ඓතිහාසික වටිනාකමකින් යුත් එම පාලම ගලවා ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් විරුද්ධ වීම හේතුවෙන් එවැනි ස්ථාන කිහිපයක්ම මග හැර සංවර්ධන කටයුතු සිදුකිරීමට පියවර ගත්තා.
ශාක හා සත්ත්ව විවිධත්වයක් සහිත සංවේදි කලාපයක් මැදින් පිහිටා ඇති මාර්ගය කිලෝ මීටර 18ක් සංවර්ධනය කිරීමට රුපියල් බිලියන 6ක මුදලක් වැය වී තිබෙනවා.
සොබාවික දිය පහරවල් රැසකින් සමන්විත මෙහි පරිසරය වඩාත් සුන්දර වන්නේ මීදුමෙන් එය වැසි යන අවස්ථාවේදියි.
මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් වීමෙන් පසු ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ද එය අතිශයින් වාසිදායක වනවා. ඒ නිසාම ක්ෂේත්‍ර රැසකින්ම මෙම සංවර්ධන කාර්යය රටට වැදගත්.