රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය, පුතා, දියණියන් තිදෙනා හා බෑනා ඇතුළු පිරිසට එරෙහිව ඇති නඩුව සැප්තැම්බර් 9 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (26) නියෝග කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේ දී පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයන් වශයෙන් තම හිතවතුන් කිහිප දෙනකුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා තම පෞද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක පාඩුවක් කළ බවට ඔහුටත් ඔහුගේ බිරිය, පුතා, දියණියන් තිදෙනා හා බෑනාට චෝදනා එල්ලවී තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අධි චෝදනා ගොනුකර ඇති බැවින් නඩුව මෙම අධිකරණයේ පවත්වාගෙන යනවාද නැද්ද පිළිබඳ කරුණු දක්වන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය. අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ, මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදුකරන නිලධාරියා අධිකරණයේ පෙනී නොසිටින බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙසය.