රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කඩිනමින් හෘද සැත්කමකට භාජනය කිරීම සුදුසු බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, වික්රමසිංහ මහතාගේ හෘද වස්තුවේ යම් සංකූලතා තත්ත්වයන් ඇති බවත්, එම තත්ත්වය හේතුවෙන් කිරීටක ධමනිවල අවහිරතා සහ විජලන තත්ත්වයක් ද වාර්තා වී ඇති බවත්ය.
“ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒකට ඔහුව ඉක්මනින්ම ශල්යකර්මයකට යොමුකරනවා නම් හොඳයි” යනුවෙන් වෛද්ය බෙල්ලන පැවසීය.
මෙම සැත්කම රජයේ රෝහලක සිදුකිරීමට නම් දිගු පොරොත්තු ලේඛනයක් ඇති බැවින්, වික්රමසිංහ මහතාට පෞද්ගලික රෝහලකින් ඉක්මනින් එය සිදුකර ගැනීමේ හැකියාව ඇති බව ද ඔහු පැහැදිලි කළේය.
මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, වික්රමසිංහ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන බවයි. ප්රතිකාර අවසන් වීමෙන් පසු සියලු පාර්ශව අමතන බව ද එම නිවේදනයේ සඳහන් වේ.