ත්‍රීවිල් පදින විදේශිකයින්ට නිතීය ක්‍රියාත්මක නොකරන පොලිස් නිළධාරීන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්න තීරණය කරයි

විදේශිකයන්ට ත්‍රිරෝද රථ පැදවීම තහනම් කර තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

ඒ පොලිස්පතිවරයාගෙන් නියෝග හා උපදෙස් මාලා ලබා දී තිබියදිත් පොලිස් නිලධාරීන් ඉදිරිපිටම විදේශිකයන් ත්‍රිරෝද පදවන බවට පැමිණිලි රාශියක් ලැබීම මතය.

බොහෝ විදේශිකයෝ මීහමුව, හලාවත, ගාල්ල, හික්කඩුව, අහංගම, මාතර ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් ත්‍රිරෝද රථ ධාවනය කරති.

මෙරට සංචාරය සඳහා පැමිණෙන ආසියාතික රටවල් කිහිපයක හැර බොහෝ රටවල විදේශිකයන්ට ඔවුන්ගේ රිය බලපත්‍රවල ත්‍රිරෝද රථ කාණ්ඩය ඇතුළත්ව නැත. ඒ අනුව ඔවුන්ට නීතියෙන් ත්‍රිරෝද රථ පැදවීමේ බලයක් ද නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් ත්‍රිරෝද රථ පැදවීමට නිසි දැනුමක් නොමැතිව අනාරක්ෂිත අන්දමින් එම වාහන පදවා අනතුරු බොහෝමයක් ද පසුගිය කාලය පුරා සිදුව තිබිණි.

එවන් තත්ත්වයක් මැද පොලිස් මූලස්ථානය සියලුම පොලිස් අංශ වෙත උපදෙස් දී තිබුණේ විදේශිකයන්ට ත්‍රිරෝද රථ ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසය.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර්ගෙන් කළ විමසුමකදී කියා සිටියේ විදේශිකයන්ට මෙරට තුළ ත්‍රිරෝද රථ පැදවීමට කිසිදු අවසරයක් නැති බවය. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *